ඔසප්වීම නවතින දිනය පසුවීම ගැබ් ගැනීමක ඉඟියකි



 

මවක්වීමට බලාපොරොත්තු වන කාන්තාවකට ඒ ගැන දැන ගැනීම තරම් තවත් සතුටක් නැති තරම්ය. මේ නිසා මාසයෙන් මාසය තමන්ගේ ඔසප්වීම නවතින දිනය ගැන බලා සිටින කාන්තාවකට ඒ දිනය පසුවීම ගැබ් ගැනීමක ඉඟියකි. එහෙත් මෙය වෙනත් හේතු නිසාත් තාවකාලිකව සිදු වේ. ඒ නිසා සෑම කාන්තාවක්ම නොපමාව එය නිවැරැදිව හඳුනා ගත යුතුය. එසේ දැනගත් පසු සෑම ගර්භිණී කාන්තාවක්ම පළමු තෙමස ගැන වඩාත් අවධානයෙන් සිටිය යුතුය. මේ කාලයේ පිළිපදින නිවැරැුදි උපදෙස් නිරෝගී දරුවකු බිහි කිරීමට මහත් සේ බලපායි. මෙවර පහදා දෙන්නේ ඒ ගැනයි.

 

 

ගර්භිණී පරීක්‍ෂාව නිවෙසේදී කරන්න පුළුවන්

මාසික ඔසප්වීම නැවතුණු පසු දින කිහිපයකට පසු ළඟම ඇති ඖෂධ ඇලෙවි සැලකට ගොස් ගර්භිණීතාව හඳුනා ගැනීමට පරීක්‍ෂණය සඳහා අවශ්‍ය ‘පටියක්’ ලබාගන්න. මෙය නිසි ලෙසට මාසිකව ඔසප් වන කාන්තාවකට දින 3 – 4 කින් වුවද බැලිය හැකිය. ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් අයට දින කිහිපයකට පසු එය කරගත හැකිය.

එහිදී මුත‍්‍ර සාම්පලයක් ගෙන එම පටිය එහි තැබීමෙන් රතු පැහැ ඉරි 2 ක් මතුවේ නම් එය ගැබ් ගැනීමකි. එක් ඉරක් මතු වේ නම් ගැබ් ගැනීමක් නැත. මෙසේ බලා රතු පැහැ ඉරි 2 ක් මතු වුවහොත් ඊළඟට කළ යුත්තේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමුවීමය.

 

මාස 3කට පෙර සිට ෆෝලික් අම්ලය ගන්න

අප මීට පළමු ලිපියේ සඳහන් කළ ආකාරයට ගැබ් ගැනීමට මාස තුනකට පෙර පටන් ෆෝලික් අම්ලය ලබාගත යුතුය. එය නොගත් කෙනෙකු වේ නම් ගැබ් ගැනීම දැනගත් දා සිට හෝ දිනපතා මෙම ඖෂධය ගත යුතුය. එය ඉතා වදගත් ය.

 

පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය හමුවෙන්න

ඊළඟ වැදගත් කාර්යය වන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමු වීමය. ඔබ ගැබ් ගෙන ඇතිබව පැවසිය යුතුය. එහිදී ඔබට වැදගත් උපදෙස් කිහිපයක් ලැබෙනු ඇත.

ඔබගෙන් සියලූ විස්තර අසා සායන සටහන් පොතක් ලබාදෙයි. මෙහිදී ඔබට අවසන්වරට ඔසප් සෑදුණු දිනය අනුව අනුමාන ලෙස සකසා ප‍්‍රසූත දිනය සාදා සටහන් කරයි. එහෙත් ඒ දිනයට වඩා ඉතාම සාර්ථක දිනය වන්නේ සායනයේදී ස්කෑන් පරීක්‍ෂණයෙන් පසු දෙන දිනයයි.

ඒ සමග ඔබටත් දරුවාටත් ඉතාම හොඳ ආහාරපාන, සෞඛ්‍ය පුරුදු ගැන උපදෙස් ලබාදෙයි.

ඉන්පසු පවුල් සෞඛ්‍ය නිලධාරිනිය මගින් ගමේ සායනය වෙත ඔබ යොමු කරයි. එම සායනයේදී ඔබ පරීක්‍ෂා කරන්නේ වෛද්‍යවරයා විසිනි. වෛද්‍යවරයා පූර්ව පරීක්‍ෂණ කිහිපයක් කර එය සටහන් කරයි. ඉන්පසු ඔහු මගින් විශේෂඥ වෛද්‍යවරයකු සේවය කරන ළඟම තිබෙන රෝහල වෙත යොමු කරයි.

මෙම ක‍්‍රියාවලිය ඉතාම වැදගත්ය. අපේ රටේ 90% ආසන්න ප‍්‍රමාණයක් පවුල් සෞඛ්‍ය නිලධාරිනිය යටතේ ලියපාදිංචි වී ගමේ සායනයට ගොස් වැඩිදුර පරීක්‍ෂණ සඳහා විශේෂඥ වෛද්‍ය සායනයට පැමිණි මවුවරුන් ය. මෙය දියුණු රටවල දක්නට ලැබෙන තත්ත්වයකි. මෙය අපේ රටේ සෞඛ්‍ය සේවය ඉතා ඉහළ මට්ටමක පවතින බව කියාපෑමකි.

 

වැඩිදුර පරීක්‍ෂණ රෝහලෙන්

රෝහල් සායනයට පැමිණි ගැබිනි මව ස්කෑන් පරීක්‍ෂණ සඳහා රෝහලට යොමු කරයි. ඒ ඇය පළමුවරට ස්කෑන් පරීක්‍ෂණට ලක් කිරීමටය. මෙය කරන්නේ ගැබ් ගෙන සති 11 - 14 කාලයේදී ය. මෙම දිනය සායනයට ලැබෙන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය මවගේ ඔසප් දිනය අනුව ලබාගත් දිනය අනුවය. මෙම සති 11 - 14 කාලයේ රෝහල් සායනයේදී ස්කෑන් පරීක්‍ෂාවට ලක්වීම ඉතාම වැදගත් ය.

 

පළමු ස්කෑන් පරීක්‍ෂණය ඉතාම වැදගත්

මවට දින වකවානුවල යම් ගැටලූවක් අනුව නියම දිනය වෙනස් වී තිබේ නම් දරු ප‍්‍රසුත දිනය නිවැරදිව මෙම පරීක්‍ෂණයෙන් දැනගත හැකිය. මෙසේ පැවසන්නේ උපත් පාලන පෙති ගත් කාන්තාවක් දරුවකු බලාපොරොත්තුව එය නතර කළ විට ඔසප් චක‍්‍රය වෙනස් වීම නිසයි. ඒ නිසා ඒ අයගේ අවසන් ඔසප් දිනය ඇතැම් විට වෙනස් විය හැකිය. ඒ නිසා ස්කෑන් පරීක්‍ෂාව ඉතාම වැදගත් ය.

 

මන්ද මානසික දරුවෙක්දැයි සොයාගන්න පුළුවන්

වසය අවුරුදු 35 ට වැඩි ගැබ්ගත් කාන්තාව අවදානම් මවක් සේ සලකයි. එම මවුවරුන්ට මන්ද මානසික (ඩවුන් සින්ඩ්‍රොම්) දරුවකු බිහිවීමේ අවදානම වැඩිය. එහෙත් අද මෙම තත්ත්වය ඊට අඩු තරුණ මවුවරු අතරත් දක්නට ලැබේ. එනිසා අද ලෝකයේ ගැබ් ගෙන මෙම කාලයේ කරන ස්කෑන් පරීක්ෂාව අනිවාර්ය කර තිබේ. ඒ මෙම දරුවන්ගේ බිහි වීම පෙරට වඩා වැඩියෙන් දක්නට ලැබෙන නිසාය. ලබන සතියේ මේ ගැන තවත් කතා කරමු.

 


RECOMMEND POSTS