ඔබත් සුදුවෙන්න මහන්සි වෙන කෙනෙක්ද ?





ඔබත් කළුයි,  එහෙමත් නැත්නම් සුදු මදි කියල දුකෙන් ඉන්න කෙනෙක් ද? එහෙම නැත්නම් සුදුවෙන්න සෑහෙන්න මහන්සි වෙන කෙනෙක් ද? මේ විස්තර ඔයාලටයි.


01.  උපතින් ම තලෙලු ද? එහෙනම් සුදු වෙන එක ලේසි නෑ
අපේ  හමේ පාට තීරණය වෙන්නේ හමේ තියෙන මෙලනින් ප්‍රමානෙත් එක්ක. එක වෙනස් කරන එක සෑහෙන්න අමාරු වැඩක්. ඒ වගේම අනතුරුදායකයි.සුදු වෙන්න කියල හිතාගෙන ඔබ කරන සමහර දේවල් වලින් සමේ මෙලනින් ප්‍රමාණේ තාවකාලිකව අඩුකරගන්න පුළුවන්. හැබැයි එකෙන් සමට හුඟක් හානි වෙනවා.


02. රසායනික විසඳුමක් ද?
වෙළඳපොලේ  ඇති විවිධ රසායනික ආලේපන භාවිතයෙන් යම් මට්ටමකට සුදු පාට වෙන්න පුළුවන්. එත් එයින් ලැබෙන දීර්ඝ  කාලීන ප්‍රතිපල අයහපත්. සම තුනී වීම, කුරුලෑ වලට වර්ධනයට ඇති ඉඩකඩ  වැඩි වීම සිදුවෙන්න පුළුවන්. ඔබ ඔය වද කර කර ඉවත් කරන මෙලනින් තට්ටුව සැඩ හිරු කිරණින් ඔබව ආරක්ෂා කරනවා. සමේ පිළිකා වගේ තත්ත්වවලින්සුරක්ෂිත කරන මෙලනින් තට්ටුව තමයි මේ රසායනික ද්‍රව්‍යවලින් ඉවත් වෙන්නේ.


03. සුදු ද? පැහැපත් ද?
සුදු වෙනවා කියන දේ සහ පැහැපත් වෙනවා කියන දේ හුඟක් අය පටලවගෙනයි ඉන්නේ.  සුදු සමක් කියන්නේ මෙලනින් ප්‍රමාණය අඩු හමක්. පැහැපත් සමක් කියන්නේ මෙලනින් ප්‍රමාණය මොකක් වුණත් ලප කැළැල් නැති නිරෝගී සමකටයි.  ඒ නිසා උත්සහ කරන්න ඕන පැහැපත් වෙන්න මිසක් සුදු වෙන්න නෙමෙයි කියලයි අපි නම් හිතන්නේ.


04. සුදු වෙන්න බැරි වුණත් පැහැපත් වෙන්න පුළුවන්
මුලින් ම කියන්න ඕන. ක්‍රීම් තට්ටු ගණනින් ගෑවත් වැඩක් නැහැ සමට නිසි පෝෂණය දෙන්න ඔබ ලෝබයි නම්.  පැහැපත්කම කියන්නේ අභ්‍යන්තරයෙන් ම එන්න ඕන දෙයක්. ඒ නිසා ඔබේ යහ පැවැත්ම තමයි ඔබේ සමේ තත්වේ තීරණය කරන්නේ.


05. මෙන්න මේවා කන්න
විටමින් ඒ පැහැපත් සමකට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා කොළ පාට එළවලු වැඩිපුර ආහාරයට එකතු කරගන්න. අමු පලා කොළ සලාදයක් කියන්නේ වැඩි වියදමක් නො කර බත් පතට එකතු කරගන්න පුළුවන්. ඒකටම දෙහි ටිකක් එකතු වුණොත්, වැඩි රසක් විතරක් නෙමෙයි විටමින් සී ත් ඔබට ලැබෙනවා. විටමින් සී කියන්නෙත් පැහැපත් සමකට ඕනම විටමිනයක්. දෙහි, දොඩම්, වගේ ඇඹුල් රස දේවල්වල විටමින් සී හොඳටම තියෙනවා.

ඒ වගේමයි ප්‍රෝටීන්. මස් වර්ග, මාළු සහ බිත්තර වලට පුළුවන් ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරන්න. නිර්මාංශ කෙනෙක් නම්, සෝයා, කිරි ආහාර ඔබට උදව් වෙයි.

හිතකර මේදත් පැහැපත් වෙන්න ඕනමයි. කන්න රටකජු, කජු ඒ වගේම ආමන්ඩ්.  සීමාවක් ඇතුව දැනගෙන ගත්තොත් පොල්, ඔලිව් සහ සුරියකාන්ත තෙල් ඔබට හුඟක් උදව් වෙයි. 


06. වතුර බොන්න
අපේ දෙතොලට දැනෙන පිපාසෙට වඩා සිය දහස් ගුණයක පිපාසයක් අපේ සමට දැනෙනවා. එත් අපි වතුර බොන්නේ දෙතොලට දැනෙන පිපාසෙ සංසිඳුවන ප්‍රමාණයට විතරයි. ඒ නිසා තමයි හුඟක් වෙලාවට අපේ සම නියං පොළොවක් වාගේ ඉරි තලන්නේ.


07. නින්ද නින්ද නින්ද
මොන දේ කලත් වැඩක් නැහැ ඔබේ සිරුරට අවශ්‍ය විවේකය නැත්නම්. සමේ නැවුම් සෙෙල නිපදවෙන්නේ ඔබ නින්දට ගියාමයි. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් නිදියන්නත් අමතක කරන්න එපා

( තිළිණි ද සිල්වා )
ද හෆින්ග්ටන් පෝස්ට් ඇසුරෙනි...

 


RECOMMEND POSTS