ඔබටත් අධි රුධිර පීඩනයද? එසේනම් මෙන්න උපදෙස්




  ලෝකයේ සිදුවන මරණවලින් සියයට 65කටම හේතුවන්නේ බෝ නොවන රෝගයන්ය.. අධික රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා, ආඝාතය (අංශභාගය), ශ්වසන රෝග ආදිය මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ බොහොමයකටම හේතු වී ඇත්තේ වැරදි ආහාර රටාවන්ය. පෝෂ්‍යදායී ආහාර වෙනුවට කෙටි කෑම වර්ග, කෘතිම ආහාර ආදියට ජනතාව යොමුවීමත් සමඟ බෝ නොවන රෝගවලට ඔවුන් ගොදුරුවීමේ වේගය ද වැඩිවී තිබේ.
    බෝ නොවන රෝග අතුරින් අධි රුධිර පීඩනය මුල් තැනක් ගනී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව ලංකාවේ  සෑම වැඩිහිටියන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු අධි රුධිර පීඩනයට ගොදුරු වී සිටී. සාමාන්‍ය වශයෙන් ගත් කල වැඩිහිටියෙකුගේ රුධිර පීඩන අගය 140/90 ට වඩා වැඩිනම් අධි රුධිර පීඩනය ඇති අයෙකු ලෙස සැලකේ.
    අධික රුධිර පීඩනය ජානමය හේතු, වෙනත් රෝගී තත්ත්වයන් ආදිය නිසා මෙන්ම වැරදි ආහාර පුරුදු නිසා ද ඇතිවිය හැක.
    
        අධික රුධිර පීඩනය කෙරෙහි බලපාන අවදානම් සාධක
ලුණු සහ ලුණු මිශ්‍ර ආහාර අධිකව ගැනීම
තෙල්, මේද සහ කොලෙස්ටරෝල් බහුල ආහාර ගැනීම
තරබාරු බව
ව්‍යායාම අඩුකම
අධික ලෙස මත්පැන් පානය කිරීම.
දුම්පානය.
දිගුකල් පවතින මානසික ආතතිය.
තරඟකාරී දිවි පැවැත්ම.
ඇතැම් ඖෂධ වර්ග භාවිතය.
අන්තරාසර්ගික පද්ධතියේ ඇතිවන වෙනස්කම්
හෝමෝන අඩංගු උපත්පාලන ක්‍රම දීර්ඝ කාලීනව භාවිතා කිරීම.
ජානමය හේතු.

    ආහාර පාලනයෙන් අධික රුධිර පීඩනය වළක්වා ගැනීම හා

පාලනය කිරීම
ලුණු පරිභෝජනය දිනකට තේ හැන්දකට වඩා අඩු ප්‍රමාණයකට සීමා කරන්න.
අධික ලුණු සහිත අච්චාරු, ලුණු දෙහි, චට්නි, සෝස්, සලාද, ජාඩි ආදී ආහාර සීමා කරන්න.
ලුණු අධික කෙටි ආහාර වර්ග වෙනුවට අලුත් එළවළු හා පළතුරු ආහාරයට ගැනීම.
ආහාරයේ රසය වැඩි කරගැනීම සඳහා ලුණු වෙනුවට කුරුඳු, කරපිංචා, එනසාල්, රම්පේ ආදී කුළු බඩු ඇතුළු ස්වභාවික රසකාරක එක් කරන්න.
ළදරුවන්ට ලුණු හඳුන්වාදීම ප්‍රමාද කරන්න.
සොසේජස්, මීට්බෝල්, හැම්, බේකන්, චීස් ආදී පිරිසැකසුම් ආහාර සකස් කිරීමේදී අමතර ලුණු එක්කරන බැවින් එවැනි ආහාර භාවිතය අඩු කරන්න.
මත්පැන් භාවිතය හා දුම්පානය අත්හරින්න.


ආහාරවල අඩංගු මේද වර්ග ගත්විට ප්‍රධාන වශයෙන් දෙකකි.
1. හිතකර (අසංතෘප්ත මේද) -- අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි.
2. අහිතකර (සංතෘප්ත මේද) -- අහිතකර කොලෙස්ටරෝල් වැඩිකරයි. හිතකර කොලෙස්ටරෝල් අඩු කරයි.
    එබැවින් මේදය සහිත ආහාර ගැනීමේදී පහත කරුණු අනුගමනය කිරීමෙන් අධික රුධිර පීඩනය පාලනය කළ හැක.
* කජු, රටකජු, තල, අලිගැටපේර වැනි ආහාර මගින් දිනකට අවශ්‍ය අසංතෘප්ත මේද ලබාගත හැකිය.
* මාළු සහ සම ඉවත් කළ කුකුල් මස් ආහාරයට සුදුසුය.
* ගැඹුරු තෙලේ බදින ලද ආහාර සීමා කරන්න.
* එළු මස්, ඌරු මස් වැනි රතු පැහැ මස් වර්ග ආහාරයට ගැනීම අඩු කරන්න.
* ආහාරයට තෙල්, බටර්, මාගරින් එක් කිරීමෙන් වළකින්න.
* පස් දෙනෙකුගෙන් යුතු පවුලක දෛනික පරිභෝජනය සඳහා මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් ප්‍රමාණවත්ය.
    අධික රුධිර පීඩනයෙන් මිදීම සඳහා එය කල් ඇතුව හඳුනාගැනීමට වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින් මාස තුනකට වරක්වත් රුධිර පීඩනය පරීක්‍ෂා කරගැනීම වැදගත් වේ.
    අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන් නිසි ප්‍රතිකාර ලැබීම මෙන්ම සෑම ආහාර වේලකටම එළවළු, පළතුරු, කෙඳි සහිත ආහාර ආදී සුදුසු ආහාර එක්කර ගැනීම වැදගත් වේ. රුධිර වාහිනී පද්ධතියට හිතකර සුදුළුෑණු වැනි ආහාර ගැනීමද සුදුසුය. එමෙන්ම මානසික ආතතියකින් තොර සැහැල්ලු ජීවිතයකට හුරුවීම මෙවැනි රෝගාබාධවලින් වැළකීමට වැදගත් වේ.

            සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ
                ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන

                සටහනඃ ඩයනා උදයංගනී


RECOMMEND POSTS