ඔබ ජලය පානය කළ යුත්තේ ඇයි



         

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

ශාන්ති ගුණවර්ධන පැහැදිලි කරයි

 

අප ශරීරයේ සියයට 70ක් ඇත්තේ ජලයයි. ශරීරය තුළ සිදුවන විවිධ ක්‍රියාවලි සඳහා ජලය අවශ්‍ය වේ. අප බොහෝ විට ජලය පානය කරන්නේ පිපාසය ඇතිවූ විට වුවත් එය වැරදි පුරුද්දකි. අප කළ යුත්තේ පුරුද්දක් ලෙස දිනපතා නියමිත ප්‍රමාණයක් ජලය පානය කිරීමය.

          පිපාසය දැනීම සිදුවන්නේ අපේ ශරීරයේ සෛලවල අන්තර්ගත ජල ප්‍රමාණය අඩු වූ විටය. එවිට එම සෛල පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මකවීමට බාධා ඇතිවේ. එය ශරීරයේ වර්ධනයට මෙන්ම එදිනෙදා ක්‍රියාකාරීත්වයටද බාධාවකි.

          ජලය රුධිරයේ ද ප්‍රධාන සංඝටකයකි. එය ශරීරය පුරා පෝෂක සහ ඔක්සිජන් බෙදාහැරීමට, ශරීරයේ පටලවල මනා තෙතමනය පවත්වා ගැනීමට, මොලයේ සහ ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට, මුත්‍රා සමඟ ශරීරයේ ඇති අහිතකර ද්‍රව්‍ය බැහැර කිරීමට, මළපහ නිසි අයුරින් පිටකිරීමට, ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමට මෙන්ම ශරීර උෂ්ණත්වය නිසි ලෙස පවත්වාගැනීමට ද උපකාරී වේ. එබැවින් පිපාසය ඇතිවන තුරු නොසිට දිනපතා ජලය පානය කිරීම වැදගත් වේ.

          එක් එක් පුද්ගලයාට අවශ්‍ය ජල ප්‍රමාණය, ඔවුන්ගේ වයස, යෙදෙන ක්‍රියාකාරකම්, පරිසර උෂ්ණත්වය, කායික රෝගී තත්ත්වයන් මෙන්ම පසුවන කායික තත්ත්වය (ගර්භනී බව, කිරිදෙන මවක්වීම) ආදිය අනුව තීරණය වේ.

 

වයස් කාණ්ඩය

පෙර පාසල් වියේ දරුවන්(වයස අවුරුදු 1ත් 5ත් අතර)

ප්‍රාථමික පාසල් අවධිය(වයස අවුරුදු 6ත් 10ත් අතර)

යොවුන් වියේ දරුවන්( අවුරුදු 11ත් 18ත් අතර)

ජල පරිමාව     

 

මිලිලීටර්750-1000

ලීටර් 1 - 1.5      

 

ලීටර් 1.5 - 2

 

වැඩිහිටියෙකුට දිනකට ශරීරයට අවශ්‍ය දියර ප්‍රමාණය පහත සමීකරණය උපයෝගී කරගනිමින් තීරණය කළ හැක.

අවශ්‍ය දියර ප්‍රමාණය (ලීටර්) = ශරීර බර (කිලෝ ග්‍රෑම්)

30

එසේ වුවත් ,    

* පරිසර උෂ්ණත්වය වැඩි දිනවලදී සහ අධික සුළං සහිත දිනවල

* සිරුර වෙහෙසන ශරීර ක්‍රියාකාරකම්වල නිරත වන විට

* උණ, පාචනය හා වමනය ඇති අවස්ථාවල

* වායු සමීකරණ හා විදුලි පංකා යට සිටිනවිට

* කිරිදෙන මව්වරුන් වැඩිපුර ජලය පානය කිරීමට අවශ්‍ය වේ.  

         

          ව්‍යායාම හා ක්‍රීඩාවන්හි යෙදෙන අවස්ථාවල පහත අයුරින් ජලය පානය කිරීම වැදගත් වේ.

ව්‍යායාම කිරීමට පෙර ජලය මිලි ලීටර් 500ක්

ව්‍යායාම අතරතුර මිලි ලීටර් 250ක්

ව්‍යායාමවලට පසු මිලි ලීටර් 250ක්

         

                   නිසි පමණට ජලය පානය නොකිරීමෙන් සිදුවන හානි

ශරීර පටක විජලනයට ලක්වේ.

සම වියළි වේ.

වකුගඩු මගින් ශරීරයට අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත්කිරීමේ ක්‍රියාවලියට බාධා ඇතිවේ.

මුත්‍රා සාන්ද්‍රවීම නිසා මුත්‍රා ගල් ඇතිවිය හැක.

 

පිපාසය සංසිඳුවීම සඳහා ඇති හොඳම පානය ජලයයි. එමෙන්ම තැඹිලි, කුරුම්බා, පළතුරු යුෂ, තේ, කෝපි ආදියද භාවිතා කළ හැක. පළතුරු යුෂවලට සීනි එක්කිරීම අනවශ්‍ය වන අතර තේ, කෝපි සඳහාද හැකිතාක් අඩුවෙන් සීනි භාවිතා කළ යුතුය.

 

සැකසුම - ඩයනා උදයංගනී

                  

 

 

 


RECOMMEND POSTS