එන්ඩෝමෙට්‍රියල් පිළිකා තත්ත්වය



නිර්දේශිත මාස හයක කාලයේදී මවුකිරි ලබාදෙන කාන්තාවන්ට ගර්භාෂයේ ඇතුළතම ස්ථරයේ ඇතිවන එන්ඩෝමෙට්‍රියල් පිළිකා තත්ත්වය ඇතිවීමේ අවදානම සියයට 11 කින් අඩුවන නවමතම අධ්‍යයනයක් හෙළි කරයි.

අතීත අධ්‍යයන 17ක දත්ත විශ්ලේෂණය කරමින් ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් මෙම කරුණු සොයාගෙන ඇති අතර නිර්දේශිත මුල් මාස හයක කාලයේදී මවුකිරි ලබා නොදෙන කාන්තාවන් හා සැසඳීමේදී මුල් මාස හයක කාලයේදී මවුකිරි ලබාදෙන කාන්තාවන්ට එන්ඩෝමෙට්‍රියල් පිළිකා තත්ත්වය ඇතිවීමේ අවදානම සියයට 11 කින් අඩු යැයි එම පර්යේෂකයෝ පිරිස පෙන්වා දෙති. 

දීර්ඝ කාලයක් මවුකිරි ලබාදීම ගර්භාෂයේ ඇතුළතම ස්ථරයේ ඇතිවන එන්ඩෝමෙට්‍රියල් පිළිකා තත්ත්වය ඇතිවීමේ අවදානම තවදුරටත් අඩුවන බව ද මෙම නව අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.

‘ගර්භාෂයේ ඇතිවන පිළිකා තත්ත්වය පොදු තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙනවා. අපි ඊට පිළියම් සෙවිය යුතුයි. එයින් ආරක්ෂා විය යුතු” යැයි  ඔස්ට්‍රේලියාවේ ක්‍යු.අයි.එම්.ආර් බර්ගෝෆර් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කතෘ සුසෑන් ජෝර්දාන් කීවාය.

එන්ඩෝමෙට්‍රියල් පිළිකා තත්ත්වය ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ටේ්‍රලියාව ආදි ඉහළ ආදායම් ඇති රටවල කාන්තාවන්ට සිව්වැනි පොදු පිළිකා තත්ත්වය යැයි පිළිකා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය පෙන්වාදෙයි.

දරුවකුගේ උපතේ සිට මුල් මාස හයක කාලයේදී අනිවාර්යෙන්ම මවුකිරි දිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන අතර ඝන ආහාර ලබාදීම ආරම්භ කළ පසුද මවුකිරි දිය යුතු බව එම සංවිධානය තවදුරටත් නිර්දේශ කරයි.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS