ඌන පෝෂණයට බිත්තර



ඌන පෝෂණය සහිත බාල දරුවන්ට දිනකට බිත්තරය මගින් කැවීමෙන් වයසට සරිලන උසක් ලබාදිය හැකි බව හයමාසයක් තිස්සේ සිදු කරන ලද අධ්‍යනයකින් හෙළිවී ඇත.

මෘදු හෝ බාගයට තම්බන ලද එසේත් නැත්නම් බදින ලද 'ඔම්ලට්' මගින් දරුවන්ට බිත්තර කැවීමෙන් වර්ධනය අතින් ප්‍රගතියක් ලැබෙන බව එක්වදෝරයේ සිදු කරන ලද එම පරීක්ෂණය පෙන්වා දෙයි.

අදාළ පර්යේෂණ වාර්තාව "Pediatrics" ළමා සෞඛ්‍ය පිළිබඳ සඟරාවේ පළ කරනු ලැබ ඇති අතර බිත්තර මගින් වැඩි වියදමකින් තොරව ඌන පෝෂණය පිටු දැකිය හැකි බව එමගින් පෙන්වා දෙයි.

ළමා ජීවිතයක පළමු අවුරුදු දෙක ඔවුන්ගේ වර්ධනයේ දී ඉතා වැදගත් බව පෙන්වා දෙන පර්යේෂකයෝ, ඕනෑම ඌන පෝෂණ තත්වයක් ආපසු යථා තත්වයකට ගෙන ඒම අසීරු බවත් කියා සිටිති.

ඌන පෝෂණයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් පෝෂණ පදාර්ථ නොලැබීම යයි පවසන පර්යේෂකයෝ බාල වියේදී ආසාදනයන්ට ලක්වීම මෙන්ම අසනීප තත්වයන් ද ඊට මුල්වෙන බව පවසති.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වයස අවරුදු පහට අඩු පහළොස් කෝටි පනස් ලක්ෂයක් පමණ දරුවන් ඌන පෝෂණයට ගොදුරුව සිටිති.පහළ සහ මධ්‍යම ආදායම් ලබන ජනතාව සහ සෞඛ්‍ය විශේෂඥයන් මේ ප්‍රශ්නය පාලනය කර ගැනීමේ මාවත් සෙවීමේ ප්‍රයත්නයක නිරත වෙති.

ලෝරා ඉයනොටි (Lora Iannotti) සහ ඇයගේ කාර්ය මණ්ඩලයේ සගයන් එක්වදෝරයේ ග්‍රාමීය කඳුකර පලාත්වල ක්ෂේත්‍ර පර්යේෂණයක් ආරම්භ කර ඇති අතර මාස හයත් නවයත් අතර බිළිඳුන්ට නොමිළේ බිත්තර සැපයීම මගින් ඔවුන්ගේ ඌන පෝෂණය මගහැර ගත හැකිදැයි නිරීක්ෂණය කරමින් සිටිති.

අහඹු ලෙස තෝරා ගත් බිළිඳුන් 160 කින් අඩකට දිනකට බිත්තරය බැගින් මාස හයක කාලයක් කවන ලද අතර එම දරුවන් බිත්තර නොදුන් සෙසු දරුවන් සමඟ සසඳා බැලීම පර්යේෂණ විධික්‍රමය විය.

පර්යේෂකයෝ සතියකට දවසක් එම දරුවන්ගේ නිවෙස්වලට ගොස් තත්වය නිරීක්ෂණය කර ඇති අතර ළමුන්ට බිත්තර දීම දෛනිකව සිදු වන්නේද ? බිත්තර දීමෙන් දරුවන්ට ආසාත්මිකතා හෝ අතුරු ආබාධ ඇති වන්නේද? යන්නත් පිරික්සා ඇත.

බිත්තර නොදුන් දරුවන්ට සාපේක්ෂව බිත්තර දෙන ලද ළමුන් අතර ඌන පෝෂණය අඩු මට්ටමක පවතින බව හෙළි වූ බව පර්යේෂකයෝ නිගමනය කරති.

එම නිරීක්ෂණයේ දී හෙළි වූ කරුණු වලින් තමන් පුදුමයට පත් වූ බව ප්‍රධාන පර්යේෂිකා ලෝරා ඉයනොටි (Lora Iannotti) පවසන්නීය."බිත්තර පහසුවෙන් ලබා ගන්න පුළුවන් ආහාරයක්. විශේෂයෙන්ම සැඟවුන කුසගින්නෙන් සහ පෝෂණ ඌනතා සහිත ජනතාවට ආහාරයක් හැටියට බිත්තර ලබා ගැනීම එතරම් අමාරු නැහැ" ලෝරා ඉයනොටි සඳහන් කළාය. පුංචි බඩවල් සහිත දරුවන්ට බිත්තර හොඳ ආහාරයක් " ලෝරා ඉයනොටි පවසයි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.

 


RECOMMEND POSTS