ඇස් යට කළු පැහැවීම වළක්වා ගන්නේ මෙහෙමයි



ඇස් යට කළුවීම බොහෝ තරුණියන් මුහුණ දෙන ගැටළුවකි. ඔබ මුහුණට කොපමණ සත්කාර කළත් ඇස් යට අවපැහැ ගැන්වී ඇත්නම් එය කැපි පෙනෙනවා. ඒ නිසා මුහුණ පැහැපත් වීමට සත්කාර කරන අතර ඇස් යට කළු වීමට ප්‍රතිකාර කරන්නත් අමතක කරන්න එපා. ඇස් කියන්නේ ඉතා  සියුම් සංවේදී ස්ථානයක් නිසා ඊට හානියක් නොවන ලෙස ප්‍රතිකාර ගැනීම බෙහෙවින් වැදගත් වේ.

ඇස් යට කළු වීමට හේතු මොනවා ද?

  • හිරු රශ්මියට නිරාවරණය වීම
  • තුනී සම හරහා පෙන්වන ශිරා හා කේශනාලිකා
  • අසාත්මිකතා
  • ජාන ගති ලක්ෂණ
  • ඇස් වටා වියළි වීම සහ හානි වූ සෛල එක්රැස් වීම
  • බොහෝ වේලාවක් පරිගණක භාවිතය
  • ප්‍රමාණවත් නින්දක් නොලැබීම
  • මානසික පීඩනය

ඇස් යට කළු වීම අඩුකර ගන්නේ කොහොම ද?

  • දිනපතා SPF 25 සහිත සැහැල්ලු මොයිස්චරයිසර් ආලේපනයක් ඇස් වටා අලේප කරන්න.
  • ක්‍රියාකාරී අමුද්‍රව්‍යක් ලෙස සින්ක් ඔක්සයිඩ් හෝ ටයිටේනියම් ඩයොක්සයිඩ් පමණක් ඇති sunscreen එකක් භාවිතා කරන්න.
  • හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකීම සඳහා UV400 ප්‍රමිතිය සහිත අව් කන්නාඩියක් පළඳින්න.
  • ඔබට අසාත්මිකතා ඇත්නම් එය ඇස් යට කළු විමට සහ ඇස් ඉදිමීමට ප්‍රධාන හේතුවක් විය හැකියි. ඒ නිසා ඒ සඳහා වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න.
  • රාත්‍රියේ දී සම මෘදු කරන මොයිස්චරයිසර් ආලේපනයක් ඇස් වටා ආලේප කරන්න.
  • සුදුසු under eye cream වර්ගයක් දිනපතා භාවිතා කරන්න. විටමින් C අඩංගු ක්‍රීම් වර්ග වඩාත් සුදුසුයි.
  • හොඳ concealer වර්ගයක් භාවිතා කරන්න. (එමගින් ඇස් යට කළුවීම ආවරණය කර ගන්න පුළුවන්)

ඇස් යට කළු වීමට ස්වාභාවික ප්‍රතිකාර තිබෙනවා ද?

ඔව්, ඇස් යට කළු වීම වළක්වා ගැනීමට නැතහොත් පාලනය කර ගැනීමට නිවසේ දීම ප්‍රතිකාර කිහිපයක් කළ හැකියි.

ආමන්ඩ් ඔයිල් – රාත්‍රී නින්දට පෙර ආමන්ඩ් ඔයිල් ස්වල්පයක් ඇස් වටා ආලේප කර හොඳින් මසාජ් කරන්න. පසුව උදෑසන සිතල ජලයෙන් සෝදා හරින්න.

පිපිඤ්ඤා – නැවුම් පිපිඤ්ඤා ගෙඩියකින් ඝන පෙති 2 ක් කපා එය විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු එම පෙති 2 ගෙන ඇස් වටා ප්‍රදේශයේ විනාඩි 10ක් පමණ තබා ගෙන සිටින්න.

අර්තාපල් – අර්තාපල් ගෙඩියක් හොඳින් පොඩි කර එහි යුෂ පෙරා ගන්න. පසුව කපු පුළුන් එහි පොඟවා ඇස් වටා ප්‍රදේශයේ තබා ගෙන සිටින්න. විනාඩි 10ක් පමණ පසු සිතල වතුරෙන් සෝදා හරින්න.

තක්කාලි යුෂ – තක්කාලි යුෂ තේ හැන්දකට ලෙමන් යුෂ තේ හැඳි භාගයක් එකතු කර එම මිශ්‍රණය අඳුරු පැහැ ප්‍රදේශයේ ආලේප කර විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.

ටී බෑග් (tea bag) – ටී බෑග් දෙකක් ගෙන විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබා පසුව ඇස් වටා විනාඩි 10-15 ක් පමණ තබා ගෙන සිටින්න. පසුව සෝදා හරින්න.

මෙම ප්‍රතිකාරවලින් ඔබට පහසු ප්‍රතිකාරයක් දිනපතා කිරීමෙන් ඇස් වටා අඳුරු පැහැය අඩු කරගත හැකියි.

එමෙන්ම විවිධ අලේප වර්ග ඇස් වටා ආලේප කිරීමට පෙර චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමුවී ඔබේ ගැටළුව පිළිබඳ සාකච්ඡා කර උපදෙස් ලබා ගැනීමටත් අමතක නොකරන්න.

මලිෂා ගුණවර්ධන


RECOMMEND POSTS