රුව නසන අළුහමට ආයුර්වේදයෙන් සත්කාර



ඕනෑම කාන්තාවක් උත්සාහ ගන්නේ ලප කැළැල්වලින් තොර පැහැපත් මෙන්ම නිරෝගී සමක් ලබා ගැනීමටය. එහෙත් විවිධ ආසාදිත තත්ත්ව නිසා රූ සපුවට බලපෑම් සිදුවන අවස්ථා තිබේ. අළුහම් එවැනි රෝගී තත්ත්වයකි. අතීතයේ කාන්තාවන් නම් තම රූමත්කම වඩාත් ඉහළ නැංවෙන අංගයක් ලෙස අළුහම් ඇතිවීම සලකනු ලැබීය. මේවා පෙති ගෝමර සහ මල් ගෝමර ලෙස ද හඳුන්වා තිබේ. එහෙත් අද වන විට මේවා සමෙහි සුන්දරත්වය අහිමි කරන රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගෙන තිබේ. ඔබත් අළුහම් නිසා පසුතැවෙමින් සිටී නම් මෙවර ලස්සනට ඉන්න ලිපිය ඔබ වෙනුවෙනි.

 

අළුහම් හැදෙන්නේ මෙහෙමයි

අළුහම් සම මතුපිට හටගන්නා දිලීර ආසාදනයකි. මේවා සුදු පැහැයෙන් මෙන්ම කළු පැහැයෙන් සහ දුඹුරු පැහැයෙන්ද දක්නට ලැබේ. නොසැලකිලිමත්කම නිසා බොහෝදුරට මෙම දිලීරය ශරීරය පුරා පැතිරී යයි. අළුහම් කාන්තා පිරිමි භේදයකින් තොරව ඇතිවන රෝගී තත්ත්වයකි. විශේෂයෙන්ම කාන්තා ශරීරයේ මුහුණ මත, පපුව, උරහිස්, පිට සහ ගෙල ප‍්‍රදේශවල මෙන්ම අත්වල ද වැඩි වශයෙන් පැතිරී යයි. අළුහම් ඇතිවීමට වයස් සීමාවක්ද නැත. මෙය ඕනෑම වයසක අයෙකුට ඇති විය හැකි චර්ම රෝගයක්බව පැවසුවහොත් එහි වරදක් නැත.

 

රෝග ලක්ෂණ රැසක්

සාමාන්‍යයෙන් හමේ පැහැයට වඩා සුදු පැහැයෙන් අළුහම් දක්නට ලැබේ. අධිකව දහඩිය දමන පුද්ගලයන්ට මෙන්ම උෂ්ණාධික ශරීරයක් ඇති අයට මෙම රෝගී තත්ත්වය බහුලව ඇති වේ. මෙය සම මතුපිට දිලීර ආසාදනයකින් ඇති වන අතර මෙමගින් සම දිරා යාමට සලසයි. සම සියුම්ව එකට එකතුවීම නිසා කුඩු කුඩු හැලීයාමට සලසයි. දහඩිය දමන විට මේවා කසන අතර කැසීම නිසා රතුපැහැ වී පැල්ලම් ඇතිවිය හැකිය.

 

අළුහම් හැදෙන හේතු

අළුහම් බෝවන රෝගී තත්්ත්වයකි. කෙනෙකුගෙන් කෙනෙකුට ඉතා ඉක්මනින් පැතිරී යයි. විශේෂයෙන්ම අළුහම් ඇති පුද්ගලයකුගේ ඇඳුම් ඇඳීම, තුවා භාවිත කිරීම, ඇඳ ඇතිරිලි භාවිතයෙන් මෙම රෝගී තත්ත්වය ආසාදනය වේ. මීට අමතරව හිරු එළියට සම නිරාවරණය නොවීම, ස්නානය සහ ඇඟ සේදීමෙන් අනතුරුව සම හොඳින් වියළා නොගැනීම, ශරීරයේ නිතර තෙත්බව රඳා පැවතීම, ඇඳ ඇතිරිලි නිතර පිරිසුදු නොකිරීම, කෘත‍්‍රිම ආහාරපාන නිතර භාවිතය, බ්ලීචින් අඩංගු බොඩිලෝෂන් භාවිතය, ප‍්‍රතිශක්තිකරණය දුර්වලවීම, තෙත පිටින් ඇඳුම් ඇඳීම ආදී තත්ත්ව නිසා ඕනෑම කෙනෙකුගේ සිරුරේ අළුහම් ඇති විය හැකිය.

ආයුර්වේද ප‍්‍රතිකාර

  • අළුහම් සඳහා ආයුර්වේදයේ සත්කාර රැසක් තිබේ.
  • ඇත්තෝර කොළ දෙහි ඇඹුල් ඉස්මෙන් අඹරා සකස් කරගත් ආලේපනය පෙති තෝර කොළ හා අමුකහ දෙහි ඉස්ම සමග අඹරා සකස් කරගත් ආලේපනය
  • පේර දලූ දෙහි ඇඹුලෙන් අඹරා සකස් කරගත් ආලේපනය
  • හෙන්දිරික්කා කොළ පොල් තෙල්වලින් අඹරා සකස් කරගත් ආලේපනය
  • ඇත්තෝර පින්න කොළ, කොහොඹ කොළ, අමුකහ සහ දෙහි ඉස්ම සමග අඹරා සකස් කරගත් ආලේපනය

සතියකට දින 3 ක් වත් මාස 3 ක් පුරා මෙම ආලේපන ගැල්විය හැකි නම් අළුහම් සුව කර ගත හැකිය. මෙම ආලේපනය මිනිත්තු 45 ක්වත් සම මතුපිට තිබෙන්නට හැරිය හැකි නම් වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. විශේෂයෙන්ම අළුහම් ආසාදිත වූ අයෙකු තමන්ගේ පෞද්ගලික පරිහරණ ඇඳුම් ඇඳ ඇතිරිලි කොට්ටා ආදිය උණු වතුරේ දමා හොඳින් සෝදා වියළා භාවිත කළ යුතුය.

 

සටහන : සසිනි රණසිංහ

 


RECOMMEND POSTS