හිතෙන හිතෙන වෙලාවට බඩ පුරවන්න එපා



ඔබ අධික ස්ථුලභාවයෙන් පීඩා විඳිනවා නම්, උරයේ මේද තට්ටු පිරී එය ඉදිරියට නෙරාවිත් ඇති නම්, අධික රුධිර පීඩනය, අසාමාන්‍ය ලෙස කොලෙස්ට්‍රෝල් හෝ ට්‍රයිග්ලිසරයිඞ් ඉහළ ගොස් තිබේ නම්, අනිවාර්යයෙන් ඔබ ආහාර පාලනයක් කළ යුතුය. එසේ නොකළොත්, ඔබේ ජීවිතේ අනතුරේ වැටෙනු නිසැකය.

හෘදයාබාධයකට, ආඝාත තත්ත්වයකට, දියවැඩියාවට එය අත වැනීමකි. මෙවැනි තත්ත්වයක දී, පෝෂණවේදීන් පෙන්වා දෙන අන්දමට, ඔබ ආහාර ගැනීම කළ යුත්තේ පැය 10 ක කාල පරාසයක් ඇතුළත පමණය. තවත් පැය 14 ක් ඔබ නිරාහාරව සිටිය යුතු වෙයි. මේ ආකාරයට ඔබ සතියක් ආහාර පාලනය කළොත්, එය ඔබේ සිරුරට හිතකරය.

මෙසේ පවසන්නේ යුරෝපා වෛද්‍යවරුන්ය. ඒ, ඔවුන් කළ අධ්‍යයනයක් පාදක කර ගනිමිනි. මෙම අධ්‍යයනයට ස්ථුලභාවයෙන් පෙළෙන කාන්තා පිරිමි 19 දෙනකු සම්බන්ධ කර ගැණුනි. පෝෂණ උපදෙස් ලබා දී, ආහාර පාලනය සම්බන්ධයෙන් ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතනවලට, ආහාර පාලනය සඳහා විශේෂිත ඇප් එකක් යොදවනු ලැබුණි. කාර්ය බහුල දෛනික දිවියේ දී ආහාර පාලන කළ යුතු ආකාරය සිහි ගැන්වීම, එම ඇප් එක හරහා සිදු විය.

පැය 10 ක කාලය ඇතුළත කැමැති දෙයක් කෑමට ඉඩ ලබා දුන් අතර, පැය 14 ක කාලය අනිවාර්යයෙන් නිරාහාරව සිටිය යුතු විය. සති 12 කට පසු වෛද්‍ය පරීක්ෂණවලට එම 19 දෙනා සම්බන්ධ කෙරුණු අතර, ලැබුණු ප්‍රතිඵල සැබැවින්ම විස්මිත විය. කැලරි දහනය වී, අනවශ්‍ය මේදය ඉවත් වී තිබුණේ, බර අඩු කරමිනි. රුධිර පීඩනය වැඩි අයගේ රුධිර පීඩනය අඩු වී තිබුණි. ඒ, ඖෂධ භාවිතයකින් තොරවය. සීනි සහ ඉන්සියුලීන් මට්ටම හිතකර විය. කොලෙස්ට්‍රෝල් මට්ටම සම්බන්ධයෙන් සතුටු විය හැකිවිය.

‘ද වීක්’ හෙල්ත් ඇසුරිනි


RECOMMEND POSTS