රුධිර ගණයට අනුව වයිසරයේ බලපෑම වෙනස්



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය සමඟ ජීවත් වෙනවා හැර අපට වෙන විකල්පයක් නැත. 'කොවිඩ් 19' වයිරසයට එන්නත් නිපදවීම ලහිලහියේ සිදුවුවත්, එම කටයුතු අවසන් වනු ඇත්තේ තව මාස 8 කින් හෝ 9 කින් යැයි පැවැසෙයි. කෙසේ නමුත් මේ වනවිට 'කොවිඩ් 19' ගැන අප අනාවරණය කරගත් දේ බොහෝය.

මූලාරම්භය අබිරහසක් වුවත්, 'කොවිඩ් 19' යනු ක්ෂීරපායී සතුන් හරහා මනුෂ්‍ය අපට බෝ වන කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. 'කොවිඩ් 19' වයිරසයේ ජාන ව්‍යුහය ද හොඳින් හඳුනා ගැනීමටත් වයිරසය කෘත්‍රිමව රසායනාගාරයක් තුළ නිපදවීමටත් විද්‍යාඥයෝ සමත් වී සිටිති. 'කොවිඩ් 19' වයිරසයේ බලපෑම සම්බන්ධයෙන් මෙසේ කරුණු අනාවරණය වෙද්දී, රුධිර ගණය අනුව, එහි බලපෑම වෙනස් වන බව යුරෝපා රටවල වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

ප්‍රධාන රුධිර ගණ ඇත්තේ 4 කි. ඒවා නම්, 'ඒ', 'බී', 'ඒබී' සහ 'ඕ' ය. 'ඒ' වර්ගයේ රුධිර ගණය ඇති නම්, 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වුවහොත්, අධිරුධිර පිඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නේ නම්, එම රෝගී තත්ත්වයන් ඖෂධ මගින් පාලනය කර ගැන නැතිනම්, වයිරසයෙන් එල්ල වන අවදානම ඉතා වැඩිය. වයිරසය ඔබට මාරාන්තික වෙයි.

ඔබට ඇත්තේ 'ඕ' ගණයේ රුධිරය නම්, වයිරසයෙන් එල්ල වන බලපෑම ඉතා අඩුය. වයිරසය ආසාදනය වීමත් අඩුය. වයිරසය ආසාදනය වූවත් ඉක්මණින් සුවය ලැබීමට හැකියාව ලැබෙන බව ද පැවැසෙයි. මේ බව තහවුරු වූයේ ඉතාලිය, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල වෛද්‍ය පර්යේෂකයන් සහ විද්‍යාඥයන් රෝගීන් 2,000 ක පිරිසක් යොදා ගෙන කළ අධ්‍යනයකට පසුවය.

නිසි ප්‍රතිකර්මයක් තවමත් නැතත්, දැනට පවතින අතුරු ආබාධ කිසිවක් නැති, මිල අඩු ස්ටෙරොයිඩ වර්ගයේ ඖෂධයකින්, 'කොවිඩ් 19' අඩපණ කළ හැකි බව මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂකයෝ ලොවට පවසා තිබේ. එය සැබැවින්ම සැනසිල්ලකි. මෙම ඖෂධය 'ඩෙක්සාමෙතසෝන්' ය.  අඩු මාත්‍රාවකින් යුත් ස්ටෙරොයිඩයක් වන මෙය රෝග, අසාත්මිකතා, ඇදුම, දරුණු පෙනහළු ආසාදන සඳහාත්, ක්ෂයරෝගීන්ට ප්‍රතිජීවක සමඟත් ලබා දෙයි‍.

'ද සන්' ඇසුරිනි


RECOMMEND POSTS