බළලුන් ඉන්නවා නම් කොරෝනා අවදානම අඩුයි



නිවසේ සුරතලයට බළලුන් ඇති කරනවා නම්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස අවදානම අඩු බව ස්පාඤ්ඤ වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තාවක් ‘රීසර්ච්ගේට්’ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධිය කර ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ එය කාගේත් අවදානයට ලක් වී තිබේ. යුරෝපයේ ‘කොවිඩ් 19’ වයිරසය පැතිරෙද්දී,  වයිරසයෙන් දරුණු ලෙස බැට කෑ රටක් වන්නේ ස්පාඤ්ඤයයි.

ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චේස්ගේ බිරිඳටත් වයිරසය ආසාදනය විය. ඒ, පසුගිය මාර්තු මාසයේ, එරට කොරෝනා වසංගත තත්ත්වයක් නිර්මාණය වූ අවස්ථාවේදීය.

කොරෝනා යනු සතුන්ගෙන් (ක්ෂීරපායීන්ගෙන්) මිනිසාට ආසාදනය වන වයිරස විශේෂයක් වන අතර, චීනයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ ‘කොවිඩ් 19’ යනු කොරෝනා වයිරස පවුලේ නවමත සාමාජිකයාය.

වවුලන් සහ කබල්ලෑවන් හරහා වයිරසය මනුෂ්‍යයන්ට ආසාදනය වූ බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. වයිරසය දැන් මනුෂ්‍යයන් අතරේ වේගයෙන් පැතිරෙන්නේ විකෘතිකරණයට ලක් වෙමිනි.

වයිරසය මනුෂ්‍යයන්ගෙන් යළි සතුන්ට ආසාදනය වන බව ද මේ වනවිට තහවුරු වී තිබේ. ඒ අනුව, නිවෙස්වල සුරතලයට ඇති කරන බල්ලන් බළලුන් වයිරස ආසාදිතයන් බව ලොව නන්දෙසින් වාර්තා විය.

බල්ලන්ට හෝ වෙනත් සුරතල් සතුන්ට වඩා බළලුන්ගේ සිරුරුවල ද වයිරස විෂබීජ බහුල යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. එම වයිරසවලින් මනුෂ්‍යයන්ට බලපෑමක් නොවෙයි. කෙසේ නමුත් එම වයිරස නිසා බළලුන් ඇති කරන පුද්ගලයන්ගේ සිරුරේ විශේෂ ප්‍රතිශක්තියක් හටගන්නවා යැයි අනුමාන කරන බවත්, එම ප්‍රතිශක්තිය ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් වදිනු ඇතැයි විශ්වාස කරන බවත් ස්පාඤඤ වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

බළලුන් නිසා වයිරස අවදානම අඩු කරන බව පැහැදිලි කර ඇත්තේ  ස්පාඤ්ඤයේ ‘හර්බින්’ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ පිරිසකි.  ඔවුන් පසුගිය මාස කිහිපය පුරාවට සුරතල් සතුන් සහ ‘කොවිඩ් 19’ වයිරසයෙන් උන්ට සිදුවන බලපෑම සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදු කර ඇතැයි ද පැවැසෙයි.

‘බළල් සුරතලුන් සිටින ඔබට කොරෝනා වලින් බේරෙන්න ප්‍රතිශක්තියක් ලැබෙනවා යැයි අප කියන්නේ නැහැ. ඒ බව තහවුරු වී නැහැ. අප කරන්නේ අනුමානයක් පමණයි. සුරතල් සතුන් විශේෂයෙන් බළලුන් ඇති කරන කොරෝනා ආසාදිතයන් සහ වෙනත් සුරතල් සතුන් ඇති කරන ආසාදිතයන් අතරේ අප සම්බන්ධයක් සොයා ගත්තේ පුළුල් විමර්ශනයකින් පසුවයි.

බළලුන්ගේ සිරුරුවල වයිරස වර්ග බොහොමයක් තිබෙනවා. ඒවායින් මනුෂ්‍ය අපට අනතුරක් නැහැ. ඒ නිසා බළලුන් සමඟ ජීවත් වෙද්දී, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට සිරුරේ ප්‍රතිශක්තියක් ඇති වෙනවා වෙන්න පුළුවන්’ යැයි ‘හර්බින්’ වෛද්‍ය පර්යේෂණ ආයතනය පැහැදිලි කර තිබේ.

ස්පාඤ්ඤ පුවත් ඇසුරිනි


RECOMMEND POSTS