පොඩ්ඩන්ට ප්‍රතිජීවක දෙන්නේ බලාගෙන



 
කුඩා දරුවන්ට ප්‍රතිජීවික ඖෂධ ලබාදීම ඔවුන්ට දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරන බව ඇමෙරිකානු පර්යේෂකයෝ පිරිසක් පෙන්වා දෙති.
 
දරුවන්ට කුඩා වියේදීම වැළඳීමට හැකි පළමු වර්ගයේ දියවැඩියා රෝගය ඇතිවීමේ අවදානම ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් තවදුරටත් වැඩිවිය හැකි බව එම පර්යේෂකයෝ පිරිස ප්‍රකාශ කරති.
 
මීයන් යොදාගනිමින් නිව්යෝක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කිරීමට නියමිත යැයි ද ඔවුහු ප්‍රකාශ කරති. 
 
කුඩා කාලයේදී ප්‍රතිජීවක ඖෂධ දීමෙන්  පළමු වර්ගයේ දියවැඩියා රෝගය ඇතිවීම දෙගුණයකින් වැඩි බව අනාවරණය කරගැනීමට මෙම පර්යේෂකයෝ පිරිස සමත්ව සිටිති. එයිනුත් වැඩි අවදානමක් ඇත්තේ පිරිමි දරුවන්ට යැයි ද පර්යේෂකයෝ පවසති. එමෙන්ම දියවැඩියාව ජානවලින්ම පැවැත එන පවුල්වල දරුවන් ඊට ගොදුරුවීමේ අවදානම තවත් වැඩි බව ද මෙම පර්යේෂකයෝ පෙන්වා දෙති.
 
තරුණ දරුවන් අතර දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාව ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති බව පෙන්වාදෙන පර්යේෂකයෝ පසුගිය වසර විස්සක කාලයේදී තරුණ දරුවන් පස් දෙනකුගෙන් එක් අයකු පළමු වර්ගයේ දියවැඩියා රෝගයට ගොදුරු වූවකු බව ද පෙන්වා දෙති. 
 
හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි

RECOMMEND POSTS