‘පීස් ටීවී’ තහනම්



ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කෙරෙන  රූපවාහිනී නාලිකාවක් වන  ‘පීස් ටීවී’ නම් කේබල් රූපවාහිනි නාළිකාවේ විකශය නතර කිරීමට එම නාලිකාව විකාශය කළ ඩයලොග් සහ ටෙලිකොම් ආයතන පියවර ගෙන ඇත. 

ඒ අනුව ඊයේ (30) සිට බලපැවැත්වෙන පරිදි එම කේබල් නාලිකාව විකාශය නතර  කිරීමට එම ආයතන පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විකාශය වන  ‘පීස් ටීවී’ කේබල් රූපවාහිනී නාලිකාව අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම් හා සම්බන්ධ වහබ්වාදය පැතිරවීමට යොදාගෙන ඇති බව මේ වනවිට අනාවරණ වී තිබේ.  මෙම රූපවාහිනී නාලිකාවේ හිමිකරු වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නමැති ලෝක ප්‍රසිද්ධ අන්තවාදී ඉස්ලාම් දේශකයෙකි.

එම දේශනයන්ට අනුව විවාහක කාන්තාවන් සිරකරුවන් ලෙස සහ වහලුන් ලෙස සිටිය යුතු බව ඔහුගේ ඉගැන්වීම්වල දැක්වේ. ඔහුගේ ඉගැන්වීම්වලට අනුව සංගීතය සහ මධ්‍යසාරද තහනම් වේ. යමෙකු සොරකමකට හසුවුවහොත් ඔවුන්ගේ අත් කපා දැමිය යුතු බවද ඔහු සිය දේශන හරහා සඳහන් කර ඇති බව සඳහන් වේ.

2012 වර්ෂයේදී ඉන්දීය රජය විසින්ද 2016 දී බංගලාදේශ රජය විසින් ද  මෙම නාලිකාවේ විකාශය තහනම් කරනු ලැබිණි. ඩකා අගනුවරදී පුද්ගලයින් 22දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම ඊට හේතුවිණි.
එම කේබල් රූපවාහිනී නාලිකාව ඉකුත් 29 වැනිදා සිට තහනම් කිරීමට පාකිස්තාන රජය ද පියවර ගනු ලැබ ඇත.

වහබ්වාදී පීස් ටී.වී. කේබල් රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම දැඩිව කතාබහට ලක්වීම නිසා එම කේබල් නාලිකාව විකාශය කිරීම නවතා දැමීමට අදාළ ආයතන පියවර ගෙන ඇත.

( තිළිණි ද සිල්වා)

 


RECOMMEND POSTS