‘පැසිෆික් ඒන්ජල්’ මානුෂීය වැඩසටහන



ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ‘පැසිෆික් ඒන්ජල්’ මානුෂීය වැඩසටහන් පෙළේ යටතේ වව්නියාව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් කෙරෙන වෛද්‍ය සායනය පස්වැනි දිනටත් සිකුරාදා (17) දිනය මුළුල්ලේ වව්නියාව අලගල්ල විද්‍යාලයේදී පැවැත්විණි.

‘පැසිෆිල් ඒන්ජල්’ හෙවත් ‘ශාන්තිකර දෙවඟන’ යනු ඉන්දු ශාන්තිකර කලාපයේ රටවල් හා එක්ව ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ශාන්තිකර ගුවන් හමුදා බලකාය වාර්ෂිකව සිදු කරන මානුෂීය වැඩසටහන් පෙළකි. කලාපීය රටවලට අමතරව, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු බහුජාතික පාර්ශවකරුවෝ රැසක් මීට සහභාගි වෙති.

වව්නියාව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන වැඩසටහන් මාලාවට පාසල් හතරක් තෝරාගෙන තිබෙන අතර වව්නියාව අලගල්ල විද්‍යාලයේ පැවැත්වෙන වෛද්‍ය සායනය සහ වව්නියාව කල්නාඩිනාකුලම්හි පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමට අපට හැකියාව ලැබිණි.

‘ශාන්තිකර දෙවඟන’ ක්‍රියාන්විතය යටතේ සෞඛ්‍ය, වෛද්‍ය සහ ඉංජිනේරු යන ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මානුෂීය වැඩසටහන් දියත් කෙරේ.

වව්නියාව අලගල්ල විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන වෛද්‍ය සායනය ආරම්භ වූයේ සඳුඳා (13) වැනිදාය. එය සෙනසුරාදා (18) අවසන් වීමට නියමිතය.

පවුල් සෞඛ්‍ය, අක්ෂි, දන්ත, ළමා සෞඛ්‍ය සහ භෞතික චිකිත්සාව යන අංශ පහ ආවරණය වන අයුරින් මෙම සායනය පැවැත්වේ.
ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ වෛද්‍ය අංශ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු වෛද්‍ය අංශ, නේපාලය, මාලදිවයින හා බංග්ලාදේශය යන රටවල් ගුවන් හමුදාවල වෛද්‍ය අංශ සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සහභාගීත්වය ඇතිව මෙම සායනය පැවැත්වේ.

සඳුඳා සිට සිකුරාදා (17) දක්වා කාලයේදී වව්නියාව, කැබැතිගොල්ලෑව, රඹෑව, පදවිය, අනුරාධපුරය ආදී  හා ඒ අවට ප්‍රදේශවල 4,500කට වැඩි පිරිසක් මෙම වෛද්‍ය සායනයට සහභාගී ඇත.

“අද දවස තවමත් අවසන් නැහැ. අද දහවල් එක දෙක වෙන්නත් කලින් දහසකට වැඩි පිරිසක් සායනයට සහභාගී වුණා. අපි සායනය ආරම්භ කළේ පසුගිය සඳුඳා (13). අද වෙද්දි 4,500කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. ඉන් අඩකට වඩා වැඩි පිරිසක් සහභාගි වුණේ අක්ෂි සායනයට. මේ ප්‍රදේශයේ තිබෙන දැඩි හිරු රශ්මිය දූවිලි සහිත පරිසර ස්වභාවය ඊට හේතු වන්නට ඇතැයි මා හිතනවා” යැයි අප සමඟ අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ශාන්තිකර බලකායේ වෛද්‍ය අංශයේ මේජර් ලීසා ඩොඩොබරා සඳහන් කළාය.

“මේ අවට හරි හැටි රෝහලක් නැහැ. මැදවච්චියේ, පදවියේ පොඩි රෝහල් තිබෙනවා. දිස්ත්‍රික් රෝහලේ විතරයි අක්ෂි සායනයක් තියෙන්නේ. කිලෝමීටර 60ක 70ක සීමාවක හරි හැටි රෝහලක් නැහැ. මේ සායනය ඉතාම හොඳයි” අප සමඟ අදහස් දැක්වූ ඩී. සේනාරත්න මහතා කීය.
සායනයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ජනතාවගේ විශාල උනන්දුවක් තිබෙන බව අප සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් වෛද්‍ය සුජිත් පෙරේරා මහතා කීය.

“අපි ශ්‍රී ලංකා ගුවන් හමුදාව විදියට ජනතාවට මෙන්ම ඇමෙරිකා ගුවන් හමුදාවටත් පහසුකම් සැපයුවා. මෙහි එන්න බැරි ජනතාවට සායනයට පැමිණීම සඳහා බස් රථ යෙදෙව්වා. මෙහේ වැඩි හරියක් ඉන්නේ දෙමළ මිනිස්සු. සිංහල හා මුස්ලිම් ජනතාවත් සිටිනවා. අපි වගේම මෙයට සහභාගී වූ ස්වේච්ඡා සේවකයෝ නිසා කාටවත් භාෂාව ගැටලුවක් උනේ නැහැ. ජනතාවගේ විශාල උනන්දුවක් තිබෙනවා.

අපටත් ඇමෙරිකා ගුවන් හමුදාවේ නිලධාරීන් වගේම අනෙක් රටවල් නිලධාරීන්ටත් මෙය සුවිශේෂී අත්දැකීමක් වුණා. අපි ඔවුන්ගෙන් ඉගෙන ගත්තා. ඔවුන් අපෙන් ඉගෙන ගත්තා. ඇමෙරිකා සහ ශාන්තිකර කලාපයට ඩෙංගු සහ වකුගඩු රෝගය සම්බන්ධයෙන් විශාල අත්දැකීමක් නැහැ. ඒ නිසා අපි මුහුණ දෙන ඩෙංගු රෝගී හා වකුගඩු රෝගී තත්ත්ව සම්බන්ධයෙන් අපි අදහස් හා දැනුම හුවමාරු කරගත්තා. එය එක් උදාහරණයක් පමණයි. තවත් බොහෝ අත්දැකීම්, දැනුම අපි ලබාගත්තා” යැයි ද ඔහු කීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෲප් කපිතාන් ලසන්ත සුමනවීර මහතා ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූ අතර එහිදි අදහස් දැක්වූ ඔහු මෙසේ පැවැසීය.

“ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව කටයුතු කරන්න අපට අවස්ථාව ලැබුණා. ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් තුනක් මෙම සහයෝගීතාවට එක්ව සිටිනවා. අවුරුදු 11ක් මුළුල්ලේ මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මෙවර අනුරාධපුරය, සීගිරිය, වව්නියාව, හිඟුරක්ගොඩ යන ප්‍රදේශ ක්‍රියාත්මක කරගනිමින් මානුෂීය වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථාවේදී ඔවුන් පාසල් හයක් තෝරාගත්තා. එයින් පාසල් හයක් වව්නියාවේ. මේ අලගල්ල පාසලේ පසුගිය සඳුඳා සිට වෛද්‍ය කඳවුර පැවැත්වෙනවා. සඳුඳා ආරම්භ වූ මේ වෛද්‍ය කඳවුරට 4,500කට ආසන්න පිරිසක් සහභාගී වුණා. අද දවසේ දහසකට වැඩි පිරිසක් සහභාගී වුණා. තවත් අද දවස ඉවර නැහැ. හෙටත් පැවැත්වෙනවා”.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS