හදිසි තත්ත්වයක් මතුවුණොත් සාකච්ඡා



කටාර් රාජ්‍යයේ මේ  වන විට මතු වී තිබෙන අර්බුදකාරී වාතාවරණය තුළ මේ වනතුරු ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් ප්‍රශ්න ඇති වී නැතත් යම් හදිසි තත්ත්වයක් උදා වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග ගැන සාකච්ඡා කිරීමට කටාර් හි ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය තීරණය කර ඇත.

ඒ අනුව අද (14) දින මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඊට කටාරයේ සංවිධානය වී ඇති ශ්‍රී ලාංකිකයන් ගේ සංගම් 22 කට පමණ ආරාධනා කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.

ශ්‍රමිකයන් තුළ විවිධ සැක සංකා මෙන්ම විවිධ ප්‍රශ්නක ද පැන නැගී ඇති බැවින් ඒවා නිරාකරණය කර ගැනීම සඳහා ද මේ අවස්ථාව උපයෝගී කර ගත හැකි වනු ඇතැයි කටාරයේ ශ්‍රී ලංකා තානාපති ඒ එස් පී ලියනගේ මහතා එරට මාධ්‍යවලට පවසා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ගේද උපදෙස් මත මෙම සාකච්ඡාව පවත්වන බවද තානාපතිවරයා පවසා තිබේ.

එමෙන්ම යම්කිසි ගැටළුකාරි හෝ හදිසි අවස්ථාවක් මතුවුවහොත් 0097455564936 අංකය අමතන ලෙසත් හෙට පවත්වන සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙසත් කටාර්හි ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

විනීතා එම් ගමගේ 


RECOMMEND POSTS