හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති පුටින්ගේ කණගාටුව



පුද්ගලයින් 180කට මරු කැදවමින් සහ තවත් පුද්ගලයින් හාරලක්ෂයක් අවතැන් කරමින් ලංකාවට බලපා ඇති හදිසි ගංවතුර ආපදා තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් මහතා සිය කණගාටුව මෙරට රජය වෙත දන්වා ඇත. 

ක්‍රෙම්ලින් මන්දිරයේ නිල පුවත්සේවාව සදහන් කරනු ලැබුවේ  රුසියානු ජනාධිපතිවරයා විසින් මියගිය හා විපතට පත් ලාංකිකයින් වෙනුවෙන තමන්ගේ ශෝකය පළ කරන බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැන්වු බවය.

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් සිය ශෝකය පළ කර ඇති රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා තුවාල ලැබු පුද්ගලයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

මේ අතර හදිසි ආපදා තත්ත්වය නිසා විපත පත්වූවන්ට අවශ්‍ය ඕනෑම මොහොතක දී සහාය දැක්වීමට හා ආධාර ලබා දීමට සූදානමින් සිටින බව ඕස්ට්‍රේලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය ප්‍රකාශ කළාය.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත පණිවිඩයක් යවමින් ඇය මේ බව දන්වා ඇත.

එසේම මෙම ආපදා තත්ත්වයෙන් ජීවතක්ෂයට හා විපතට පත්වූවන් ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරන බවද ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය මෙරට විදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පවසා ඇත.

 

(තිළිණි ද සිල්වා) 


RECOMMEND POSTS