සෞදියෙන් වැඩිපුර සංචාරකයන්



සෞදි අරාබියානු සංචාරකයින් මෙරටට වැඩිවශයෙන් ගෙන්වා ගැනීමේ විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ඉකුත්දා එරට රියාද් දී පැවැත්විණි.

සෞදි අරාබියේ  ප්‍රධාන සංචාරක ප්‍රදර්ශනයක් වන රියාද් සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් දියත් කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවැත්විණි.

ඒ  සදහා එරට ශ්‍රී ලංකා තානාපති ඒ.තාසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්තුන් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහභාගී වූ අතරම ලංකාවේ ප්‍රධාන පෙළේ සංචාරක සමාගම් 15 ක නියෝජිතයින් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ  පිරිසක්ද ඊට එක්ව සිටි බව සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී.

මෙහිදී ලංකා දූත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශණය සහිත ඓතිහාසික ස්ථාන හා විනෝදවන ස්ථාන පිළිබදව ප්‍රදර්ශනය නැරඹීටම පැමිණි පිරිස් හා සෞදි සංචාරක නියෝජිතවරුන්ව දැනුම්වත් කරන ලදී.

මෙම ශ්‍රී ලංකා සංචරණය ප්‍රවර්ධන වැඩසටහන් හා දැක්ම රියාද් නුවරට අමතරව දමාම් නුවරදීද පැවැත්විණි.

ගියවසරේදී පමණෙක් සෞදි ජාතිකයින් 35,000 ක් පමණ ලංකාවට පැමිණි අතර මේවසරේදී හා 2020 රජයේ දැක්ම වැඩසටහන යටතේ එම සංචාරකයින් සංඛ්‍යාව තවත් ඉහළ නංවා ගැනීම සදහා මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන දියත් කළ බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

දසවැනි වරටත් පැවැත්වූ ලොව පුරා රටවල් 50 කට අයත් සංචාරක නියෝජිතවරුන් 150 කට වැඩි පිරිසක් සහභාගී වන රියාද් සංචාරක ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් සෞදි වැසියන් මෙරටට ගෙන්වා ගැනීමටත් ,එරට සිටින සංචාරක නියෝජිතයින් සමග ඉදිරියටත් වැඩකටයුතු කිරීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගනිමින් සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS