සෞදි පොදු සමා කාලය ඇරැඹේ



සෞදියේ නීති විරෝධීව රැඳී සිටින විදේශීය ශ්‍රමිකයින් වෙනුවෙන් සෞදි රජය විසින් ලබා දීමට නියමිත පොදු සමා කාලය ආරම්භ වී තිබේ.

මෙම පොදු සමා කාලය අද දිනෙන් ආරම්භ වී මාස තුනක කාලයක් (දින 90) දක්වා ලබා දීමට තීරණය කර ඇත.
මෙම පොදු සමාකාලය ලබා දී ඇත්තේ සෞදි අරාබි රාජ්‍යය තුල නේවාසික වීසා නොමැතිව හා දේශ සීමා නීති උල්ලංඝනය කරමින් පැමිණි එරටේ නීති විරෝධීව රැඳී සිටින්නන්ට හා නීති විරෝධීව රැඳී සිටිමින් එරට සේවය කරන පුද්ගලයින් සඳහාය.

ඒ අනුව මෙම පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් සෞදියේ ආගමන විගමන, නීති කම්කරු නීති සහ දේශ සීමා නීති අනුව එරටින් පිටවන විදෙස් පුරවැසියන් හට නීත්‍යාණුකූලව නැවත පැමිනීමට බාධාවක් නෙමැති බව ද සෞදි රජය දන්වා සිටී.

සෞදි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මොහොමඞ් බින් අබ්දුල් අසිස් මහතා විසින් මෙලෙස ජාතික ව්‍යාපාරයක් ලෙස දියත් කෙරෙන වැඩසටහනක් ලෙස පොදු සමා කාලයක් ලබා දීමට තීරණය කර ඇති අතර එය සෞදියේ සලමාන් බින් අබ්දුල්අසිස් රජු විසින් අනුමත කර තිබේ.

එසේම මෙම පොදු සමාකාලයෙන් පසුව තවදුරටත් එරට නීති විරෝදීව රැඳී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සෞදි රජය දන්වා සිටින බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව සෞදි අරාබියේ නීති විරෝධීව රැඳී සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත මෙම පොදු සමා කාලය ඇතුලත හැකි ඉක්මණින් රියාද් හි  පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත හෝ ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය වෙත පැමිණ අදාළ ලියකියවිලි සකස් කර ගනිමින් මව් රටට පැමිණෙන ලෙස කාර්යාංශය දන්වා සිටින අතර, තම ඥාතීන් මෙවැනි නීත්‍යාණුකූල නොවන අයුරින් සෞදිය තුල රැඳී සිටින්නේ නම් ඔවුන් මේ පිළිබඳව දැනුවත් කරන ලෙසත් කාර්යාංශය දන්වා සිටී.

විනීතා එම්. ගමගේ

 


RECOMMEND POSTS