සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමක්



සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර, යෝජිත නිදහස් වෙළද ගිවිසුමට අදාල සියළු කටයුතු මෙම වසර ඇතුලත නිමාකරන බව  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

දෙරට අතර  නිදහස් වෙළද ගිවිසුමක් ඇතිකර ගැනීම වෙනුවෙන් දැනට කෙරීගෙන යන කටයුතු සම්පූර්ණ කර දෙරටේ ද්වීපාර්ශවීය වෙළඳ සබඳතා තවදුරටත් තහහුරු කිරීමට ක්‍රියා කරන බව, විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන්  බාලක්‍රිෂ්ණන් ((Dr. Vivian Balakrishnan)  ) මහතා, සමඟ පසුගිය දා (18) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති ද්වීපාර්ශවීය සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන්  බාලක්‍රිෂ්ණන්  මහතා ඇතුළු දූත පිරිස ඉයේ දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණි අතර, එහිදී විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින්,  බාලක්‍රිෂ්ණන්  මහතා ඇතුළු පිරිස මහත් හරසරින් පිළිගනු ලැබීය. පසුව, විදේශ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබූ සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා, අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ නිල ඡායාරූපයකට පෙනී සිටියේය.

එම සාකච්ඡාවලින් අනතුරුව, අමාත්‍යවරුන් දෙපළ, මාධ්‍ය හමුවේ අදහස් පළ කරනු ලැබීය.

මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ ඉකුත් වසරේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිංගප්පූරුවේ සිදුකළ නිල සංචාරයේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තව දුරටත් ශක්තිමත් කරගැනීමට හැකි වූ බවයි. ඒ අනුව, අද පැවති ද්වීපාර්ශවීය සාකච්ඡාවලදී දෙරට අතර ආර්ථික හා සංවර්ධන, සහයෝගීතාවයට අදාල කරුණු අවධානයට ලක්වූ බවද හෙතෙම කීය. සංචාරක, සංස්කෘතික කටයුතු මෙන්ම මානුෂීය සහයෝගීතාවය, ආර්ථික හා සමුද්‍රීය කටයුතු, දෙරට අධ්‍යාපනික හා පුහුණු අංශවල ප්‍රවර්ධනයට අදාල කරුණු මීට ඇතුලත් වූ බවද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහාය දැක්වීමට සිංගප්පූරු රජය ලබාදෙන සහයෝගයට ප්‍රණාමය පළ කළ රවී කරුණානායක මහතා, එය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට ඉමහත් ශක්තියක් බවද සිහිපත් කළේය.

එමෙන්ම සිංගප්පූරු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන ඉඩ ප්‍රස්තා පුළුල් වි ඇති බවද රවී කරුණානායක මහතා කියා සිටියේය.

මෙහිදී සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා පෙන්වාදුන්නේ  ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර රාජතාන්ත්‍රික සබඳතා දීර්ඝ කාලයක් තිස්සේ ශක්තිමත් වෙමින් පවතින බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ, සංවර්ධන කටයුතු සඳහා සිංගප්පූරු රජයේ සහාය නොඅඩුව ලබාදෙන බවද හෙතෙම කීය. දෙරට අතර නව නිදහස් වෙළද ගිවිසුමකට එළඹීම රටවල් දෙක අතර දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරවන්නක් බවද බාලක්‍රිෂ්ණන් මහතා පෙන්වාදුන්නේය.

මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතාට සිංගප්පූරුවේ නිල සංචාරයක් සදහාද විවියන් බාලක්‍රිෂ්ණන් මහතා ආරාධනා කර සිටියේය. මෙම අවස්ථාවට, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ. 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS