ස්නෝඩන්ට රැකවල් දුන් ලාංකිකයින් දෙදෙනා දොට්ට !



ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළිකළ එඩ්වඩ් ස්නෝඩන්ට හොංකොං හිදී රහසිගතව නවාතැන් සැපයූ ශ්‍රී ලාංකිකයන්ට සහ පිලිපීන ජාතිකයින්ට දේශපාලන රැකවරණ ලබාදීම හොංකොං රජය ප්‍රතික්‍ෂේප කර තිබේ.

කැල්ලපත සුපුන් තිළිණ සහ ඩී.කේ අජිත් පුෂ්පකුමාර නැමැති ලාංකිකයින් දෙදෙනා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙලෙස හොංකොං හි දේශපාලන රැකවල් ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

රුසියාවට පළායාමට ප්‍රථම තාවකාලිකව හොංකොං හි රැඳී සිටි අවස්ථාවේ දේශපාලන රැකවරණ පතා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහ පිලිපීන ජාතිකයන් පිරිසක් 2013 ජුනි මාසයේ ඔහුට රහසිගතව නවාතැන් පහසුකම් සපයා තිබුණි.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය ආරක්‍ෂිත රටවල් බව සලකමින්, මෙම දෙපිරිසට ම දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී ඇති බවත් එම තීරණය "හේතු සහගත නොවන" බවත් ඔවුන්ගේ නීතිවේදියෙක් පැවසීය.

මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට දින 14ක කාලයක් පවතී.මේ අතරතුර තමන්ට දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස මොවුන් කැනඩා රජයෙන් ද ඉල්ලීමක් කර තිබේ.

සිය ජීවිතය රැකදීම පිණිස විශාල කැපකිරීමක් සිදු කළ මෙම පිරිසට හොංකොං හි දේශපාලන රැකවරණ නොදීම 'විස්තර කළ නොහැකි ඛේදවාචකයක්' බව, ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසුව පිටුවහල්ව වෙසෙන එඩ්වඩ් ස්නෝඩන් මීට පෙර පවසා තිබුණි.

වර්තමානයේ රුසියාවේ දේශපාලන රැකවරණ ලබා සිටින ස්නෝඩන් ඒ බව ප්‍රකාශකර තිබුණේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියට ( NSA ) අයත් රහසිගත ලිපිලේඛණ දහස් ගණනක් විකීලීක්ස් වෙබ් අඩවියට ලබාදීමෙන් අනතුරුව එඩ්වඩ් ස්නෝඩන් එක්සත් ජනපදයෙන් පළා ගියේය.

 

 ( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS