සංචාරකයන්ගේ පැමිණීම පහත වැටිලා



දින කිහිපයක් තිස්සේ කොළඹ නගරයයේ හෝටල් වලට විදේශීය සංචාරකයින් පැමිණීම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙරට පැතිරයන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ දිනවල  කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකටම සංචාරකයින් නොමැතිවීම හේතුවෙන් එම හෝටල් පවත්වා ගෙන යෑමේ අසීරුතාවයන් මතුවී ඇතැයි සංචාරක හෝටල් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව වෙනදා දිනකට සංචාරකයින් 100 කට වැඩි පිරිසක් පැමිණෙන කොළඹ නගර සීමාවේ පිහිටි  සුපිරි හෝටල් වලට සංචාරකයින් පැමිණීම 20 ක් දක්වා අඩු වී ඇතැයි ද පැවැසෙයි.

මේ අතර කොළඹ නගරයේ පිහිටි කාමර 500ක් යුතු සංචාරක හෝටල් වලටම සංචාරකයින් සිටිනුයේ සියයට 20 ක් වැනි සුළු ප්‍රමාණයකින් යැයිද එම ආංරචි මාර්ග කියා සිටී.

ඉකුත් වසරේ අපේ්්‍රල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ සංචාරක කර්මාන්තයේ පහළ වැටීමට වඩා මෙම වසංගත තත්ත්වය නිසා මේ සංචාරකයින් පැමිණීම පහළ වැටී , සංචාරක ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින්නේ යැයිද සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ නියුතු වූවන් පෙන්වා දෙති.

මෙම වසංගතය නිසා ලෝක  සංචාරක කර්මාන්තයද දැඩි කඩා වැටීමකට ලක්වීම ලංකාවටද බලපෑමෙන් සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ තමන්ට සහන සලසන ලෙස දැනටත් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

ඒ යටතේ ක්ෂේත්‍රයේ නිරත වූවන්ට සහන ලබා දීම සදහා ඉදිරියේදී කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

ඉකුත් පෙබරවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීම සියයට 17.7 ක අඩුවූ  බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය ඉකුත්දා පැවසීය.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS