සංක්‍රමණිකයන් රටට ආශීර්වාදයක්



නීත්‍යානුකූලව පැමිණෙන සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට ආශීර්වාදයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) පස්වරුවේ පැවැසීය. අද වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානය සංක්‍රමණිකයන් සහ සරණාගයන් පිළිබඳ ප්‍රශ්නයට ඉතා ඉහළ ප්‍රමුඛත්වයක් දී තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදි කීවේය.

එමෙන්ම රටකට නීතිවිරෝධීව පැමිණෙන සංක්‍රමණිකයන් නිසා අදාළ රටට බරපතළ අර්බුදවලට මුහුණ දීමට සිදුවන බව ජනාධිපතිවරයා එහිදි කීවේය.

කොළඹ ගලධාරි හෝටලයේ පැවැති සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ දෙවැනි ජාත්‍යන්තර සමුළුවේ අවසාන සැසිවාරය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කරුණු කීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාව ඇතු-ළු සාමාජික රටවල් සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ කටයුතුවලට තම උපරිම දායකත්වය දැක්විය යුතු බව ද ජනාධිපතිවරයා එහිදි කීවේය.

සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසූ පළමු රට ශ්‍රී ලංකාව බව ජනාධිපතිවරයා එහිදි කීවේය. දින තුනක් මුළුල්ලේ පැවැති සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ දෙවැනි ජාත්‍යන්තර සමුළුවේ අවසානයේදී සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂක වෛද්‍ය ඇලන් ලූඩෝවයික් මහතා විසින් සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ කොළඹ ප්‍රකාශනය ඉදිරිපත් කරන ලදි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් විදේශවල සේවය කරන අතර ඔවුහු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8ක ආදායමක් රටට උපයාදෙති.

දින තුනක් පුරා පැවැති මෙම සමුළුවට රටවල් 40ක රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප ඉෂාන් සංජීව

 


RECOMMEND POSTS