ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධයෙන් තවත් වසර 2ක්



ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධව කටයුතු කිරීම සඳහා තවත් වසර 2ක් කල් දිය යුතු බවට  ඇමෙරිකාව ,බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 4 ක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි මහසභා සැසියට ඉදිරිපත් කළ නව යෝජනාව ඡන්දයකින් තොරව ඒකමතිකව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඊයේ (23)  සම්මත විය. 

මෙම නව යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහක රාජ්‍යයන් වූයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, උතුරු අයර්ලන්තය හා මොන්ටිනිග්‍රෝ යන රටවල් විසින් මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (23) ඉදිරිපත් කෙරුණි.

ශ්‍රී ලංකාවද මෙම යෝජනාවලියට සම අනුග්‍රාහකත්ව ලබාදුන් අතර මෙම යෝජනාව සම්මත කිරීමට ජපානය ඇතුළු තවත් රටවල් 36 ක් අමතර සම අනුග්‍රාහකයින් ලෙස ශ්‍රී ලංකාවට සහාය දක්වා ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග කියා සිටී.

සම්මත කළ නව යෝජනාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් වාචික වාර්තාව එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිලයේ 37 වන වාර්ෂික සැසියට ඉදිරිපත් කළ යුතු  අතර එම යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  වන ලිඛිත වාර්තාව 40 වැනි වාර්ෂික සැසියට ඉදිරිපත් කළ යුතුව ඇත.

“ශ්‍රී ලංකාවේ, ප්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය” යන තේමාව යටතේ, ඉදිරිපත්ව ඇති මෙම යෝජනාව සම්මත වීම මඟින්  අන්තර්කාලීන යුක්ති ක්‍රියාවලිය  පිළිබඳ වැඩි ප්‍රගතියක් පෙන්නුම් කිරීමට වසර  දෙකක කාලයක් ශ්‍රී ලංකාවට කල් ලබා දීමට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එම වසර දෙකක කාලය තුළදී  2015 ඔක්තෝබර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියලයේ සම්මත වූ ශ්‍රී ලංකාවේ  ප්‍රතිසන්ධානය ,වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ගත නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට  ,   සම්මත වූ නව යෝජනාවේ සඳහන් වේ.

එසේම රටේ සමස්ත ජනතාවගේ මානව හිමකම් ,මුලික නිදහස භුක්ති විඳීම තහවුරු කිරීම වෙනුවෙන් ඉකුත් 2015 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ පියවරයන් මෙම සම්මත කළ නව යෝජනවාවෙන් අගයා ඇති අතර ඒවා තවදුරටත් තහවුරු කිරීමේ අවශ්‍යතාවය පවතින බව නව යෝජනාවෙන් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාලයේදී සිදුවුවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝන වීම් ආදී සිද්ධීන් වගවීම ක්‍රියාත්මක කිරීම, අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මෙම නව යෝජනාව සම්මත කරන ලදී.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ නව යෝජනාව සඳහා  ඊයේ (23) දින වන විටත් තවත් ප්‍රබල රටවල් 6ක සහයෝගය ලැබි ඇති බව, තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ඊශ්‍රායලය, ජපානය, හා නෝර්වේ රාජ්‍යය මෙසේ මෙම යෝජනාවට සහය පළකරනු ලැබීය.

පුරා මාසයකට ආසන්න කාලයක් පැවැති මෙවර 34 වැනි සැසිවාරය හෙටින්  (24 වැනිදා) අවසන් වේ. මෙම සැසිවාරයේදී  ශ්‍රි ලංකාව ,සුඩානය , ලිබියාව ,සිරියාව ඇතුළු  එක් එක් රටවල මානව හිමිකම් තත්ත්වය මෙන්ම එය ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග, යුද ගැටුම්, ආර්ථික වර්ධනය ආදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS