ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 22 ක්



‘කොවිඩ්-19’ එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය දීමක් වශයෙන් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 22ක (රුපියල් කෝටි 463කට ආසන්න මුදලක්) ප්‍රදානයක් කර ඇත.

නව කොරෝනා වසංගතය පාලනය කිරීම, ඉන් පැනනඟින ඍණාත්මක බලපෑම් අවම කිරීමත් යනාදිය ආවරණය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම ප්‍රතිපාදන හිමි වේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මෙරටට වෛද්‍ය උපකරණ හා සැපයුම් ලබාගැනීමටත් සහ වෛද්‍ය පර්යේෂණාගාර පහසුකම් වැඩිදියුණු කිරීමටත් යූරෝ මිලියන 2ක් ද ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශයට යූරෝපා මිලියන 16.5ක මූල්‍ය ප්‍රතිපාදන ද හිමි වේ.

මෙම දුෂ්කර කාලසීමාවේදී විවෘත වෙළෙඳපොළ කටයුතු පවත්වාගෙන යෑටමත්, විශේෂයෙන්ම සෞඛ්‍ය හා කෘෂිකර්ම අංශවලට අදාළව සැපයුම්දාම ආරක්ෂා කරගැනීමටත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ අරමුණ බව යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.

කොරෝනා වයිරසයෙන් බලපෑමට ලක්ව තිබෙන මෙරට සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා යූරෝ මිලියන 3.5ක ප්‍රදානයක් ලබාදීමට ද යුරෝපා සංගමය කැමැත්ත පළ කර ඇත. ග්‍රාමීය ප්‍රදේශවල පුද්ගල ප්‍රාග්ධන සංසරණය වර්ධනය කිරීම සහ ඌව හා මධ්‍යම පළාත්වල කුඩා ව්‍යාපාරහිමියන්ට සහ සේවකයන්ට සහාය වීම මෙම සමස්ත මූල්‍ය ප්‍රදානයේ අරමුණක් වී ඇත.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන් ඇතුළු යුරෝපා සංගම් දූත පිරිසක් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (8) සාකච්ඡාවක් පැවැත්විණි. එහිදි ඉහත මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.

ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම යුරෝපීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දූත පිරිස එම සාකච්ඡාවේදී ඔවුන්ගේ ප්‍රසාදය පළ කළහ. 


RECOMMEND POSTS