ශ්‍රී ලංකාව අවදානමෙන් මිදිලා



නීති විරෝධී මිනිස් වෙළඳාමේ යෙදෙන රටවල් අතර ඉතා නරක තැනක සිටි ශ්‍රී ලංකාව මේ වසරේ දී එතෙක් පැවති අවදානම් කලාපයෙන් මිදී ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවක් උපුටා දක්වමින් විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

ශ්‍රී ලංකාව 2013 වසරේ සිට නොකඩවා වසර 4ක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් නීතිවිරෝධී මිනිස් වෙළඳාමට ගොදුරු වූ රටක් ලෙස නම් කර තිබුණි.

2016 වසරේත් එහි නිරීක්‍ෂණ රටක් ලෙස ශ්‍රී ලංකාව පැවති අතර, අවශ්‍ය සාධන මට්ටම කරා ළඟා නොවුනහොත් ආර්ථික සම්බාධක පැනවීමට පවා ඉඩකඩ ඇති බව ඔවුන් විසින් දන්වන ලදැයි වදේශ රැකියා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 

ඒ අනුව ශ්‍රී ලංකා රජයේ නිසි මඟපෙන්වීම මෙන්ම විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළ හේතුවෙන් 2017 වසරේදී ශ්‍රී ලංකාව නිරීක්‍ෂණ ලැයිස්තුවේ 2 වන මට්ටමේ රටක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන තිබේ.

මෙරට තුළ මිනිස් වෙළඳාම මුලින් උපුටා දැමීම සඳහා අවශ්‍ය කරන අවම ප්‍රමිතීන්ට ළඟා විය නොහැකි වුවද, මෙරට රජය විසින් රාජ්‍ය දෙපාර්තමේන්තු තුළ විශේෂ ඒකක පිහිටුවමින් ගෙන ඇති සාධනීය උත්සාහය අගය කිරීම සඳහා මෙසේ නිරීක්‍ෂණ ලැයිස්තුවේ ඉහළ මට්ටමකට ගෙන ඇතැයි පැවැසේ. 

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදේශකත්වයෙන් කාර්යාංශය තුළද මිනිස් වෙළඳාම මැඩලීමේ විශේෂ ඒකකයක් ඉකුත් වසරේ අප්‍රේල් 27 වැනිදා පිහිටුවන ලද අතර එම ඒකකය වෙත මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් වූ පැමිණිලි ඝෘජුව වාර්තා කිරිමට අවස්ථාව සළසා තිබිණි. එයින් සමහර පැමිණිලි වැඩිදුර විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ ඒකකය වෙතද යොමු කෙරේ.

එසේම එම අංශය මඟින් දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිළධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන හා පොදු මහජනතාව දැනුවත් කරමින් නීතිවිරෝධී මිනිස් වෙළඳාම තුරන් කිරීමේ කටයුතුවල නිරත වේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ රැකියා ඇමතිනී තළතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, රජය මිනිස් වෙළඳාම තුරන් කිරිම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා කාර්යාංශයේ නිළධාරීන් ලබාදෙන සහයෝගය ප්‍රශංසනීය බවයි.

එසේම රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින් තමන් රැකියාව සඳහා යොමුකරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව සොයාබැලිය යුතු වන බවත්, විදේශ රැකියාව සඳහා තමන්ට සහය වන සියළු දෙනා පිළිබඳව සියළු තොරතුරු තමන්ගේ ළඟම ඥාතියා සමීපයේ තබායෑමට කටයුතු කරන ලෙසයි.

පසුගිය සමයේ නොයෙකුත් අවස්ථාවල ව්‍යාජ තොරතුරු සපයමින් විදෙස් රැකියා සඳහා යොමුවී විදේශ රටවලදී විවිධ කරදරවලට ලක්වූ පුද්ගලයින් පිළිබඳව වාර්තා වූ බවත්, මේ තත්ත්වය අවම කරගැනීම හුදෙක් රජයේ වගකීමක් පමණක් නොව මහජනයාද එකසේ වගකීමෙන් හා අවධානයෙන් කටයුතු කළ යුතු වන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

නීතිවිරෝධී මිනිස් වෙළඳාම පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව කාර්යාංශයේ මිනිස් වෙළඳාමට එරෙහි විශේෂ ඒකකය දැනුවත් කරන ලෙසද අමාත්‍යතුමිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එහි අංකය 0112884707 වේ.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS