ශ්‍රී ලංකා මහ කොමසාරිස් කොළඹට කැඳවයි



විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය කොළඹට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඇයගේ කැඳවීම සම්බන්ධයෙන් නිල හේතුවක් ලබා දී නැතැයි ද හදිසියේ ඇය කැඳවා ඇතැයි ද දැනගන්නට ලැබේ.
ඔස්ටි්‍රයාවේ ශ්‍රී ලංකා තානාපතිනිය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මෙන්ම වියානා නුවර අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල ශ්‍රී ලංකා නියෝජිත ලෙස කටයුතු කළ සරෝජා සිරිසේන මහත්මිය ද නැවත මෙරටට කැඳවා ඇතැයි ද ඇය වෙනුවට එම තනතුරට එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මජින්ත ජයසිංහ මහතා පත් කර ඇතැයි ද වාර්තා වේ.

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් කරන්නේ කවුරුන්දැයි මෙතෙක් වාර්තා වී නැති නමුත් ඊට නම් කිහිපයක්ම යෝජනා වී ඇත.

මනීෂා ගුණසේකර මහත්මිය පෙබරවාරි 1 වැනිදා බි්‍රතාන්‍යයෙන් නික්මීමට නියමිතය.

ඇය පෙබරවාරි 1 වැනිදා නික්ම යන බව බි්‍රතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයට දැනුම් දී ඇති බව ද දැනගන්නට ලැබේ.

දේශපාලන පත්වීම් මෙන් නොව විදේශ සේවයේ නිලධාරීහු වසර තුනකට රාජ්‍ය තාන්ත්‍රික තනතුරු සඳහා පත් කෙරෙති. දේශපාලන පත්වීමේ කෙරෙන්නේ වසර දෙකක කාලයකටය. ගුණසේකර මහත්මිය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වැඩ බාර ගත්තේ 2018 වසරේ නොවැම්බර් මාසයේදීය.

ලන්ඩනය දේශපාලන පත්වීම් මෙන්ම විදේශ සේවයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට අවාසනාව ගෙනෙන තනතුරක් බවට පත්ව තිබේ. පසුගිය වසර පහක කාලයේදී බි්‍රතාන්‍යයට මහ කොමසාරිස්වරු තිදෙනෙක් පත් කරනු ලැබූහ. 

එවකට මහ කොමසාරිස් ධුරය හෙබවූ ක්‍රිස් නෝනිස් මහතාට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස කටයුතු කළ සජීන් වාස් ගුණවර්ධන මහතා කම්මුල් පහරක් එල්ල කිරීම නිසා හෙතෙම 2014 වසරේදී  එම තනතුරෙන් ඉල්ලා අස්විය. එක්සත් ජාතීන්ගේ සැසි සඳහා සහභාගීවීමට නිව්යෝක් නුවරට ගොස් සිටි වෛද්‍ය නෝනිස් මහතා නිව්යෝක් නුවර පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්ව සිටියදී එසේ පහර කෑමට ලක්විය.

වෛද්‍ය නෝනිස් මහතාගෙන් පසු අමාරි විජේවර්ධන මහත්මිය එම තනතුරට පත්වූ අතර සිය ධුර කාලය සම්පූර්ණ කිරීමට මාස කිහිපයක් තිබියදී ඇය පෙරළා ශ්‍රී ලංකාවට පැමිණියාය.  

නෙවිල් ද සිල්වා
ලන්ඩන් සිට (සන්ඬේ ටයිම්ස් ඇසුරිනි) 

RECOMMEND POSTS