ශ්‍රී ලංකා තානාපති කාර්යාල වැඩසටහන් අධීක්ෂණයට නව පරීක්ෂක ජනරාල්වරුන් තිදෙනෙක්



විදේශ රටවල පිහිට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඇතුළු දූත මණ්ඩල මඟින් ක‍්‍රියාත්මක කරන වැඩසටහන් අධීක්ෂණයට නව පරීක්ෂක ජනරාල්වරුන් (ඉන්සපෙක්ටර් ජෙනරාල්වරු) තිදෙනෙකු පත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

සී.ඞී.කාසි චේට්ටි , ජී. විජේසිරි ,සහ ගීතා ද සිල්වා යන මහත්ම මහත්මීහු මෙලෙස පරීක්ෂක ජනරාල්වරුන් ලෙස පත් කිරීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.

විදේශ දූත මණ්ඩල වල වැඩසටහන් අධීක්ෂණය සඳහා වන මෙම පරීක්ෂකවරු බොහෝ දුරට මේ වසරේ මුල සිට වැඩ ආරම්භ කරනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම පරීක්ෂක ජනරාල්වරුන් විදේශ සංචාරවල නියැලීමේදී අදාළ වන ගමන්  වියදම් සඳහා වන ගෙවීම් හැරුණු කොට වෙනත්  වැටුප් හෝ දීමනා වැනි අමතර මූල්‍ය දීමනා නොමැතිව සේවයේ නිරතවනු ඇතැයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

ශ්‍රී ලංකා විදේශ සේවයේ නියුතුව සිට විශ‍්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන මෙම නිලධාරීන් තිදෙනා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ,මහ කොමසාරිස් කාර්යාල ඇතුළු ශ්‍රී ලංකා දූත මණ්ඩල 52 ක ක‍්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් අධීක්ෂණය කිරීම හා වාර්තා කිරීම සිදු කරනු ලබන බවද වාර්තාවේ.

මේ අතර , නව සංකලපයක් යටතේ අමාත්‍යාංශය විසින් විදේශයන්හි  පිහිටි ශ්‍රී ලංකා දුත මණ්ඩල සදහා අනේවාසික තානාපතිවරුන් 14 දෙනෙක් පත්කිරීම සදහා වන දැනටමත් කැබිනට් අනුමැතිය හිමි කර ගෙන ඇති අතර ඉදිරියේදී එම පත්වීම් සිදු කිරීමට නියමිතය.

 

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS