ශ්‍රී ලංකා-කොරියා සමුළුව



ශ්‍රී ලංකා - කොරියානු ජනරජ ඒකාබද්ධ කොමිසමේ පළමු සැසිවාරය ලබන 28 වැනි දින කොළඹදී පැවැත්වීමට තීරණය වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡා ඉකුත්දා කොළඹදී පැවැත්වූ  අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර විදේශ කටයුතු අමාත්‍යාංශ මට්ටමේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවැනි වටය වන මෙහිදී, මෙරට නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් දැරූ අතර කොරියානු නියෝජිත පිරිසේ නායකත්වය දරනු ලැබුයේ කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පළමු නියෝජ්‍ය අමාත්‍ය ලිම් සන්ග්-නම් මහතා විසින දරනු ලැබීය.

දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙන්ම ලංකාව නියෝජනය කරමින් රේඛීය නියෝජිතායතන ගණනාවක්ද මෙම උපදේශන සාකච්ඡා සඳහා සහභාගී වූහ.

ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ කොරියානු ජනරජයට යෙදුණු ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මහතාගේ රාජ්‍ය සංචාරයට අනුගාමීව මෙම දේශපාලන උපදේශන සාකච්ඡා පැවැත්විණි.

මෙම සාකච්ඡාවල මූලික අරමුණ වූයේ දෙරට අතර පවතින සමීප මිත්‍ර සබඳතා තහවුරු කරමින් එකී රාජ්‍ය සංචාරයේ ප්‍රතිඵල මත පිහිටා තවදුරටත් ප්‍රගතිය අත්පත් කර ගැනීමයි. දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති ගණනාවක් හා වෙළෙඳාම, ආයෝජනය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විද්‍යාව හා තාක්ෂණය, සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය යන අංශවලට අදාළ සහයෝගිතා වැඩසටහන් පිළිබඳව මෙම සාකච්ඡා අතරතුරදී සමාලෝචනය කෙරිණි.

හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය, ගම්පහ තාක්ෂණ විද්‍යාලය ස්ථාපිත කිරීම හා කොරියා ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල යටතේ ක්‍රියාත්මක වන ජල සම්පාදන හා වෙනත් ව්‍යාපෘති රැසක් මීට ඇතුළත් විය.

සෞඛ්‍ය, පරිසරය, තිරසර සංවර්ධනය, දේශගුණ විපර්යාස, මානව හිමිකම් සහ නීති මත පදනම් වූ ජාත්‍යන්තර ක්‍රමය ආරක්ෂා කොට ප්‍රගමනය කිරීම ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් බහුපාර්ශ්වීය සංසදවලදී සම්බන්ධීකරණය කිරීමේ වැදගත්කම හඳුනා ගනිමින්, එකිනෙකා සමඟ සමීපව කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ විය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS