ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වෙලා !



අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම වෙනුවෙන් වත්මන් රජය වැදගත් පියවර රැසක් මේවන විට ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගියදා නිල වශයෙන් දැනුම් දී ඇත.

විශේෂයෙන්ම 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව මෙරට නීති පද්ධතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූ බවද බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා එහිදී එම කවුන්සිලයට පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරියක් වන මොනිකා පින්ටෝ විසින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය  සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය දක්වමින් ආර්යසිංහ මහතා මේ බව කියා සිටියේය.

මොනිකා පින්ටෝ මහත්මිය පසුගිය වසරේ  ශ්‍රී  ලංකාවේ සංචාරයක නිරත වු අතර එහිදි ඇය විසින් ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ පද්ධතිය පිළිබදව සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රවිනාත ආරියසිංහ මහතා පෙන්වා දී ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකර ඇති බවය.19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා බව රවිනාථ ආර්යසිංහ මහතා කියා සිටී.

විශේෂයෙන් එමගින් ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කිරීම ස්වාධීනව සිදුකිමට පියවර ගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි.

පින්ටෝ මහත්මියගේ වාර්තාවෙන් විනිසුරුවරුන්ට රජයෙන් බලපෑම් එල්ල වන බවට සඳහන්ව තිබුණ ද නව රජය යටතේ එවන් තත්ත්වයක් සිදුනොවන බවත්, විනිසුරුවරුන්ගේ බලය වැඩි කිරීමට මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ද නව රජය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් රවිනාථ ආර්යසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 

 ( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS