ශ්‍රමිකයන් විදේශගත කිරීම අත්හිටුවයි



කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යෑම සැලකිය යුතු මට්ටමට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම අත් හිටවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

ශ්‍රී ලංකාව තුල සිදු කරනු ලබන නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය ලබා දීම සඳහා කාර්යාංශය විසින් විගමණික ප්‍රජාවගේ දේශිය හා විදේශිය සංචරන තත්වයන් සීමා කිරීම සිදු කල යුතු බැවින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට  පැවැසීය.

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසයට එරෙහි ආරක්ෂිත පියවරක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් කල අවධාරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

නිපුණතා සංවර්ධන රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සභාපති කමල් රත්වත්තේ මහතා ඇතුළු කළමණාකාරීත්වයේ සහ බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන නියෝජනය කරන සංවිධාන වල සහභාගීත්වයෙන් ඊයේ (13) පැවති සාකච්ඡාවේ දී මෙම තීරණය ගත් බව ද ඔහු කියා සිටියේය.

එසේම, කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති ඇතැම් රටවල් විසින් එම රටවල් වලට ඇතුළු වීම සීමා කිරීමට ගෙන ඇති තීරණයට සහයෝගය දීමක් වශයෙන්ද මෙම තීරණ වලට එළැඹුණු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.  

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS