ශ්‍රමික සුරැකුම ජංගම සේවාව අනුරාධපුරයේ



විගමණික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සංවිධානය කරන ශ්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහන් මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් දෙවන අදියර මාර්තු මස 23, 24. 25 යන දිනවල දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලදී විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත සංවර්ධන නිළධාරීන්, සමථ අංශය, සමාජ විද්‍යා අංශය, විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් සමඟ ගැටළු සඳහා විසඳුම් ලබාගත හැකි වන අතර, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඒ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම ගොස් මහජනයා මුණගැසීමට නියමිතය.

පදවිය, කැබිඅතිගොල්ලෑව, හොරොව්පතාන, ගලෙන්බිඳුණු වැව හා පලුගස්වැව යන ප්‍රාදේශියලේකම් කොට්ඨාශවලදී හෙට (23) දිනයේ දීද, මැදවච්චිය,රඹෑව, කහටගස්දිගිලිය, මිහින්තලේ හා තිරප්පනේ යන ප්‍රාද්ශිය ලේකම් කොට්ඨාශවල දී 24 වැනිදා ද, නැගෙනහිර නුවරගම්පළාත, මහවිලච්චිය,නොච්චියාගම යන ප්‍රාදේශියලේකම් කොට්ඨාශවලදී 25 වැනිදා ද මෙම ජංගම සේවා පැවැත්වේ. 

මෙම වැඩසටහන යටතේ, විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සෞඛ්‍යය හා අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති සංවර්ධන නිළධාරීන්ට එහි වගකීම පැවරේ. ඔවුන් විසින් සෑම මසකම අවසානයේ මෙම පවුල් ගැන වාර්ථාවක් සකසා විදේශ රැකියා අමාත්‍යංශයට හා විදේශ රැකියා අමාත්‍යතුමියට පෞද්ගලිකව සොයාබැලීම සඳහා යොමුකරනු ඇත.

මෙරටට වැඩිම ආදායමක් ගෙන එන විගමණික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුලේ ඥාතීන්ගේ ආරක්ෂාව හා සුභසාධනය සම්බන්ධව සියළු ක්‍රියාමාර්ග නොපසුබටවී ගන්නා බවත්,  විගමණික ශ්‍රමිකයින් තම පවුලෙන් ඈත්වෙමින් සිදුකරන කැප කිරීම පිළිබඳව ආඩම්බර වන බවත්, එහෙයින් ඔවුන්ගේ පවුල් පිළිබඳව තමන් පෞද්ගලිකව සොයාබැලීමට සූදානම් බවත විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකොරල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.

විනීතා එම්. ගමගේ

 


RECOMMEND POSTS