විශේෂ වාර්තා දෙකක්



ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක‍්‍රියාකාරි කමිටු දෙකක් විසින් සැකසූ විශේෂ වාර්තා දෙකක් ලබන මාසයේදි ජීනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කරන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව ජිනීවා නුවරදී සැප්තැම්බර් 10 වැනිදා සිට 28 වැනිදා තෙක් පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහ සභා සැසිවාරයේදී ලංකාව සම්බන්ධයෙන් වන මෙම විශේෂ වාර්තා සභාගත වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී  කමිටුව හා සත්‍ය ,සාධාරණත්වය , වන්දි ගෙවීම් සහ නැවත සිදුවීම් වළක්වා ගැනීම පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඞී. ග‍්‍රීෆ් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  සැකසු වාර්තා දෙකක් මෙලෙස මානව හිමිකම් කවුන්සිලය හමුවේ සභාගත කෙරේ.

බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී  කමිටුවේ නියෝජිත පිරිසක් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී මෙරට පැවති මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ලබා ගත් තොරතුරු අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකසා ඇත.

එම වසරේ ඔක්තෝබර් මාසයේදී සත්‍ය ,සාධාරණත්වය , වන්දි ගෙවීම් සහ නැවත සිදුවීම් වළක්වා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඞී. ග‍්‍රීෆ් විසින් මෙරට සිදු කළ සංචාරයකින් පසුව සිය විශේෂ වාර්තාව සකසා ඇතැයිද තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

තිළිණි ද සිල්වා

 


RECOMMEND POSTS