විශේෂ නියෝජිතයා එයි



පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ ( ඔටාවා සම්මුතිය ) විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් අල්-හුසේන් කුමරු මෙරට දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (05) දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා රජය  කළ ආරාධනයක් පිළිගනිමින් මෙරටට පැමිණෙන මිරෙද් අල්-හුසේන් කුමරු සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී මෙම  විශේෂ නියෝජිතවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිත යැයිද එම අමාත්‍යාංශය කියා සිටී.

මීට අමතරව හෙතෙම පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම පිළිබඳ අමාත්යන ඩී.එම්. ස්වාමිනාදන් මහතා සමග උතුරු පළාතේ ක්ෂේත්‍ර සංචාරයකද නිරත වීමට නියමිත ය.එහිදී මිරෙද් අල්-හුසේන් කුමරු බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිත අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ නියෝජිතායතන මෙන්ම බිම්බෝම්බ වින්දිතයන්ද හමුවනු ඇත.

බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා මේ තාක් සිදු කරන ලද කාර්ය භාරය මෙන්ම වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම සඳහා පිළියෙළ කර ඇති අතර සිය සැලසුම් විදහා පෙන්වීමට විශේෂ නියෝජිතවරයාගේ සංචාරයෙන් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ.

විශේෂ නියෝජිතවරයා, බිම්බෝම්බ ඉවත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ වින්දිතයන් වෙනුවෙන් තවදුරටත් ලබාදිය හැකි සහය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරට සිටින එක්සත් ජාතීන්ගේ කණ්ඩායම, සිවිල් සමාජය සහ සෙසු අදාල පාර්ශ්ව හමුවීමටද අපේක්ෂිතය.

විශේෂ නියෝජිතවරයා අද (6) පස්වරු 5.30 ට ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපාය අධ්‍යනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේදී “ පුද්ගල නාශක බිම්බෝම්බ පිළිබඳ ඔටාවා සම්මුතිය: ආසියාවට ඇති අවස්ථා සහ අභියෝග ” යන මැයෙන් දේශනයක් පැවැත්වීමටද නියමිතය.

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියේ 163 වැනි රට ලෙෂ ශ්‍රී ලංකාව ඉකුත් දෙසැම්බර් 13 වැනි දින එම සම්මුතියට එක් වූ හෙයින් මෙම විශේෂ නියෝජිතවරයාගේ ශ්‍රී ලංකා සංචාරය විශේෂ වැදගත්කමක් උසුලන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

“ඔටාවා සම්මුතිය” නැතහොත් “බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතිය ” පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතා කිරීම, රැස් කිරීම, නිෂ්පාදනය කිරීම, හා පැවරීම තහනම් කිරීමේ සහ ඒවා විනාශ කිරීම පිළිබඳ සම්මුතියේ අරමුණ වනුයේ ලොවපුරා පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතය අවසන් කිරීමයි. 1997 දෙසැම්බර් 3 වැනි දින අත්සන් තැබීම ඇරඹුණු මෙම සම්මුතිය 1999 මාර්තු 1 වැනිදා බලාත්මක විය. දැනට සම්මුතියට රාජ්‍ය පාර්ශ්ව 164 ක් වෙයි.

මිරෙද් සෙයිද් අල්-හුසේන් කුමරු 2004 සිට ජෝර්දානයේ බිම්බෝම්බ ඉවත් කිරීම සහ පුනරුත්ථාපනය පිළිබඳ ජාතික කමිටුවේ සභාපතිවරයා වශයෙන් සේවය කරයි. 2009 වසරේදී පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිතවරයා වශයෙන් පත් කළ දා පටන් ඔහු ලොවපුරා පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම ප්‍රවර්ධනය කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සාමාජික රාජ්‍යයන් සමග සුවිසල් කාර්ය භාරයක් ඉටු කර තිබේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS