විදේශගත ශ්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ දැමීම කල් යයි



විදේශගත ශ්‍රමිකයින්ගේ අවම වැටුප ඩොලර් 350ක් දක්වා ඉහළ නැංවීමට ගත් තීන්දුව ක්‍රියාත්මකවීම ලබන වසර දක්වා කල් දමන ලෙස ඉල්ලා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කර ඇත.

මෙම තීරණය නිසා මෙරට දහස් ගණනකට විදේශ රැකියා අවස්ථා අහිමිවීමේ සහ ඒ හේතුවෙන් රටට ලැබෙන විදේශ ආදායම අඩුවීමේ අවධානමක් ද මතුව ඇති බැවින් මෙම පියවර ගත් බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

විදේශගත ශ්‍රමිකයින්ගේ වැටුප ඉහළ දැමීම සඳහා අවම වැටුපත් යෝජනා කිරීම ඉතා වටින නමුත් දැනට මතු වී ඇති ප්‍රායෝගික ගැටලු විසඳාගන්නා තුරු එය වසරකින් කල්දැමීම සුදුසු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට විදේශගත ශ්‍රමිකයින්ගේ අවම මූලික වැටුප වන ඩොලර් 300  ඩොලර් 350ට ඉහළ නැංවීම සමඟ දැනට ලැබී ඇති විදේශයන්හි පිහිටි කර්මාන්තශාලාවලින් මෙරටට ලැබී ඇති රැකියා කොන්ත්‍රාත්තු කිහිපයක් අහිමිවීමේ අවදානමක් ඇතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා එයින් රටට ලැබෙන විදේශ ආදායම් අඩුවන බව ද කීවේය.

මෙය තීන්දුව ක්‍රියාත්මක කිරීම වසරකින් කල් දැමුවහොත් මතු වී ඇති ප්‍රායෝගික ගැටලු විසඳාගනිමින් ඉදිරි වසරේ සිට රැකියා ඇනවුම් ගැනීමේදී ඩොලර් 350 අවම වැටුපක් ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බව ද නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

මෙම ගැටලුව මතුවන්නේ ගෘහ සේවිකාවන් ලෙස රැකියාවට යන කාන්තාවන්ට නොව කර්මාන්තශාලාවල රැකියා සඳහා යන අයට බව කී අමාත්‍යවරයාගෘහ සේවය සඳහා විදේශගත වන කාන්තාවන් ප්‍රමාණය අඩු කිරීමේ අරමුණින් අප ගෙනයන වැඩපිළිවෙල සඳහාත් මේ වන විට හොඳ ප්‍රතිචාර ලැබී ඇතැයි කීවේය.

ගතවූ වසර දෙක තුළ ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වන කාන්තාවන් ප්‍රමාණය සියයට 70ක සිට සියයට 30ක් දක්වා  අඩුකර ගැනීමට අපට හැකි වී තිබෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මැදපෙරදිගින් එහාට ගොස් ජපානය, ඊශ්‍රායලය වැනි රටවල් සමඟ ගිවිසුම් ඇතිකරගෙන එම රටවලට  පුහුණු ශ්‍රමිකයින් යැවීමේ නව ක්‍රමෝපායන් කෙරෙහි වැඩි අවධානය යොමු කර තිබෙන බව ද සඳහන් කළේය. 

 

ඩයනා උදයංගනී


RECOMMEND POSTS