විදේශගත විත්තිකරුවන්ට සිතාසි



ඉකුත් වසරේ මාස නමයක කාලය තුළදී  නඩු කටයුතු වලට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් විදේශගතව සිටින විත්තිකරුවන් සහ සාක්ෂිකරුවන් 337 දෙනෙකුට මෙරට අධිකරණ මඟින් සිතාසි නිකුත් කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සදහන් කරයි.

2000 අංක 39 දරණ සිවිල් සහ වානිජ කාරණා වලදී අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීමේ පනත යටතේ ඉකුත් වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ මෙරට අධිකරණ වලින් මෙම සිතාසි නිකුත් කළ බව එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ වාර්ෂික ප්‍රගති වාර්තාවේ දැක්වේ.

එක්සත් රාජධානියේ සිටින විත්තිකරුවන් සහ සාක්ෂිකරුවන් 42 කටද  , ඉතාලියේ සිටින විත්තිකරුවන් සහ සාක්ෂිකරුවන් 36 කටද ,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විත්තිකරුවන් සහ සාක්ෂිකරුවන් 35කටද , කැනඩාවේ සිටින විත්තිකරුවන් සහ සාක්ෂිකරුවන් 21 කටද , ඉන්දියාවේ සිටින විත්තිකරුවන් සහ සාක්ෂිකරුවන්  20කටද , සෞදි අරාබියේ 16කටද , කුවේටයේ 17 කටද , ප්‍රංශයේ 14 කටද , කටාරයේ සිටින 11 කටද , ඕස්ටේ්‍රලියොවේ සිටින 14 කටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් වැඩිම සිතාසි ප්‍රමාණයක් යවා ඇතැයි එම අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

එම සිතාසි විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා විදේශ රටවල සිටින විත්තිකරුවන් සහ සාක්ෂිකරුවන්ට යොමු කළ බවද අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව විදේශයන්හි අධිකරණ වලින් ශ්‍රී ලංකාවේ සිටින විත්තිකරුවන් සහ සාක්ෂිකරුවන් 73 දෙනෙකුට සිතාසි නිකුත් කර ඇත.

(තිළිණි ද සිල්වා)

 


RECOMMEND POSTS