විදේශ රැකියා ජාවාරම්හි නිරත කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට



විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිලි අනුව මෙම වැටලීම් මෙහෙයවා මොවුන් අත්අඩංගුවට ගෙන  ඇත.

පසුගිය දා විමර්ශන නිළධාරින් විසින් සිදුකළ ආවේශන පරික්ෂණයකින් අනතුරුව ජපානයේ රැකියා ලබාදෙන බවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකරමින් මුදල් වංචාකළ කාන්තාවක සහ ඇයට සහය දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ ටාගට් කැම්පස් පුද්ගලික සමාගම නමින් ආයතනයක් පවත්වාගෙන ගිය දිනූෂා ගයානි කුමාරසිංහ හා සුගත් ප්‍රසන්න නම් දෙදෙනෙකි. 

ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප දෙකක් මත මුදාහරින ලද අතර, ඔක්තෝම්බර් 07 වන දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණි.

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා රු.2,100,000 ට අධික මුදලක් වංචා කළ බවට කාර්යාංශයට පැමිණිලි 6ක් ලද, ගම්පහ ප්‍රදේශයේ කාන්තාවක්ද කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

ගම්පහ, මොරුපල ප්‍රදේශයේ පදිංචි නිලූකා හර්ෂනී කබ්රාල් නම් කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එසේම ඩුබායි ඇතුළු රටවල් කිහිපයකට ශ්‍රමිකයින් යවන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචාකළ අයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට විරුද්ධවද පැමිණිලි 10ක් කාර්යාංශය වෙත ලැබී තිබේ.

එච්.එෆ්.ට්‍රැවල්ස් ටිකටින් නමින් ගුවන් ටිකට්පත් ආයතනයක් පවත්වාගෙන ගිය මොහොමඩ් යුසුෆ් හම්පතුල් ෆසිල් නම් පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල කම්කරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇති අතර, වැඩිදුර විභාගය සදහා අගෝස්තු 30 කැඳවීමට නියමිතය.


RECOMMEND POSTS