විදේශ ඇමති මංගල ළඟදීම සෞදියේ



 

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සෞදි අරාබියේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බවත්, එම සංචාරය සඳහා අවශ්‍ය පුළුල් කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත් ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අසීම් තාසීම් මහතා ප්‍රකාශ කර සිටී.

මෙම සංචාරය අතරතුරදී දෙරට අතර ද්වීපාර්ශවික සම්බන්ධතා තහවුරු කර ගැනීමටත්, එරට ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමටත් අපේක්ෂා කරන බව තානාපතිවරයා පෙන්වා දී ඇතැයි ඇරැබ් නිව්ස් වෙබ් අඩවි වාර්තාවක සඳහන් වේ.

පසුගිය දා ශ්‍රී ලංකාවේ 69 වෙනි නිදහස් උත්සව සැමරුම් අවස්ථාව සෞදි අරාබියේ, රියාද් හි - ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළ බවද ඇරැබ් නිව්ස් වාර්තාවේ දැක්වේ.

සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මංගල සමරවීර මහතා සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර පවත්නා සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීමට අවශ්‍ය තීන්දු තීරණයන් රැසක් ගැනීමට අපේක්ෂා කරන බවත් තානාපතිවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම එම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද අපේක්ෂා කරන බවත් පැවසූ තානාපතිවරයා මෙහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධන, සංචාරක, ආයෝජන, හා රැකියා අවස්ථාවන් යනාදී ක්ෂේත්‍රයන් පිළිබඳව පුළුල්ව සොයා බැලීමට අපේක්ෂා කරන බවත් පෙන්වා දී ඇත.

එමෙන්ම 2030 වන විට සෞදි දැක්ම හා ජාතික සංවර්ධන පරිවර්ථන වැඩසටහන යන අරමුණ යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, එම ඉලක්කයන් සපුරා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා ගනිමින් දෙරට අතර සහයෝගයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න මේ ඔස්සේ අවධානය යොමු කරන බවද වාර්තා වෙයි.

 

( තිළිණි ද සිල්වා )
ඇරැබ් නිව්ස් ඇසුරෙනි.........


RECOMMEND POSTS