විදෙස් සබඳතා නිලධාරිනියකගේ පවුලේ කෙනකුට කොරෝනා



විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වන විට COVID -19 රෝගය වැළඳී ඇති බවතහවුරු වී ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අදාළ වෛද්‍ය උපදෙස් මත මේ වන විට නිසි ක්‍රියා මාර්ග ගෙන  ඇති අතර වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය.

ඒ අනුව, අදාළ නිලධාරිණිය සිකුරාදා සිට ස්වයං නිරෝධායනය කර ඇතැයි ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාය කියා සිටී.

ආරම්භක පියවරක් ලෙස,  මේ සතියේ  මුල් දිනයකදී කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී හා  මීට සති 2 කට පෙර යුරෝපීය අගනුවරකදී අදාළ නිලධාරිණිය හා එක්ව රාජකාරී කටයුතු කරමින්  සම්බන්ධ වූ අමාත්‍යාංශය කාර්ය මණ්ඩලයට 'ස්වයං නිරෝධායනය' කිරීමට උපදෙස් දී ඇත. 

එසේම අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහා ද වැඩිදුර පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා  කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද එම අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සදහන් කළාය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS