විදෙස් ගතවීම අඩුවෙලා



2018 වසරේදී කාන්තා ශ්‍රමිකයින් විදෙස් ගතවීම අඩු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

2017 වසරේදී කාන්තා ශ්‍රමිකයින් 68,319 දෙනෙකු විදෙස්ගත වී ඇති අතර 2018 වසරේදී එම සංඛ්‍යාව 66,971 ක් දක්වා අඩු වී ඇති බව එම කාර්යංශය පෙන්වා දෙන්නේය.

කෙසේවෙතත් 2018 වසරේදී ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමු වීම සියයට 13 කින් ඉහල ගොස් ඇති අතර එම සංඛ්‍යාව 64,965 ක් වේ.

 පසුගිය වර්ෂයේදී මෙරට ශ්‍රමිකයින් දෙලක්ෂ 11,502 දෙනෙකු විදේශ රැකියා ‍සඳහා යොමුව ඇති අතර ඉන් සියයට 68 යි දශම 3 ක ප්‍රතිශතයක් පිරිමි ශ්‍රමිකයින් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේය.

 2017 වසර සමඟ සැසදීමේදී 2018 වසරේදී විදෙස් රැකියා සඳහා යොමු වු පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහල ගොස් ඇති බව සදහන්.

 2018 වසරේදී මෙරට ශ්‍රමිකයින් වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා යොමුව ඇත්තේ කටාර් රාජ්‍යයට වන අතර කුවෙට්, සෞදි අරාබියාව, දකුණු කොරියාව යන රටවලටද ශ්‍රමිකයින් වැඩි වශයෙන් යොමු වී ඇති බව වාර්තා වේ.

 මේ අතර මැදපෙරදිග රටවලින් බැහැරව යුරෝපා ඇතුළු සෙසු රටවල්වලට මෙරට ශ්‍රමිකයින් යොමුවීමේ ප්‍රවණතාවක් මේ වන විට දක්නට ලැබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙන්වා දෙයි.

එමෙන්ම වෘත්තිය රැකියා සදහා ශ්‍රමිකයින් යොමුවීමද පසුගිය වසරේ සියයට 11 කින් පමණ ඉහල ගොස් ඇති බව එම කාර්යංශය සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS