විදෙස් ආයෝජනවලට ඍණාත්මක බලපෑමක්



දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදෙස් ආයෝජනවලට ද ඍණාත්මක බලපෑමක් සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය, කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බව සඳහන් කරන යුරෝපා සංගමය ඇතුළු කොළඹ පිහිටි යුරෝපීය තානාපති කාර්යාල කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අරමුණ සාක්ෂාත් කරගැනීමට එය බාධාවක් බව ද කියයි.

අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර ආනයනයට බාධා මතුවීම තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට අහිතකර බලපෑමක් එල්ල වන බවත් තව ද දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියමවලට අනුකූල නොවන බව සිහිපත් කරන බව ද යුරෝපා සංගම් දූත මණ්ඩලය සහ එම තානාපති කාර්යාල සිය නිවේදනය මඟින් සඳහන් කර ඇත.

‘කොවිඩ්-19’ වසංගතය හමුවේ මතුව ඇති අභියෝග ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් නියෝජනය කරන තානාපතිවරුන් අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාවේ බලධාරීන් හමු වූ බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS