වැටුප් නොලැබුණු කතුන් ආපසු ගෙන්වයි



ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී එරට වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42ක් 27 උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇත.

ඔවුන් සියලු දෙනාම කාන්තාවන් වූ අතර , ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.ඔවුන් ඕමානයේ වසර දෙකකට අඩු කාළයක් සේවය කර තිබුණ ද , ඔවුන්ට ඒ සඳහා වැටුප් ගෙවා නොතිබුණි. 

මෙම පිරිස් ගෘහ සේවය සඳහා යොමු කළ ඕමානයේ නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර , කරදර ඔවුන්ට සිදු වී තිබූ අතර , වැටුප් නොගෙවීම නිසා ද , මෙම සේවිකාවන් තවදුරටත් එම නිවෙස් වල නොසිට , පලා විත් , එරට රැකියා ඒජන්සි වෙත මෙම තොරතුරු පැවසූ විට , යළිත් මෙම සේවිකාවන් වෙනත් නිවාස වෙත යොමු කර , ඔවුන්ට හිමිවිය යුතු වැටුප් , එම ඒජන්සිකරුවන් විසින් ලබා ගෙන තිබු බව එම පිරිස පවසයි.

පසුව මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ අතර , ඔවුන් ඕමානයේ  "සබායා ගිලිස් " සහ " අබු අලීෆා " හි රැදවුම් මධ්‍යස්ථාන වල රදවා තිබී ඇත. 

මෙම රැදවුම් මධ්‍යස්ථාන වල මෙම ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ට අමතරව , අප්‍රිකානු ජාතික කාන්තාවන් විශාල පිරිසක් ද සිටින බව මෙම පිරිස පවසා තිබේ.මෙම කාන්තාවන් ඕමානයේ මස්කට් සිට පැමිණි සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 431 දරන ගුවන් යානයෙන් උදෑසන 8.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවනු ලැබීය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS