වාර්තාගත පහළ යෑමක්



 
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය ඊයේ (9) 172 ඉක්මවා ගියේය.
 
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (9) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 172.42ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 168.47 ක් ලෙස දැක්විණි.
 
පසුගිය මස 21 වැනිදා ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 170 සීමාව ඉක්මවා ගියේය. ඉන් පසුව අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල ස්ථාවර අගයක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය.
 
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අගෝස්තු මාසයේදී සියයට 1.2කින් ද සැප්තැම්බර් මාසයේදී සියයට 4.7කින් ද දුර්වල වී තිබෙන අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 5 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට  10.1කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එච්.එස්.බී.සී බැංකුව ඊයේ (9) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 174 ඉක්මවා ගොස් තිබිණි.
 
ඊට අමතරව  මහජන බැංකුව, කොමර්ෂල්, එන්.ඩී.බී සහ එන්.එස්.බී බැංකුවල එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 173 සීමාව ඉක්මවා තිබූ අතර සම්පත් බැංකුවේ  සහ ලංකා බැංකුවේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල පිළිවෙළින් 172.75ක් ලෙසත් 172.70 ක් ලෙසත් සටහන් ව තිබිණි.
 
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 5 වැනිදා දක්වා කාලයේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 3.3කින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීමත් සමඟ මෙම කලාපයේ වැඩිම බලපෑමකට ලක්වූ මුදල් ඒකකය වූයේ ඉන්දීය රුපියලයි. මේ අනුව ඊයේ (9) නැවත වරක් ඉන්දීය රුපියල වාර්තා ගත ලෙස පහත වැටිණි. රොයිටර් පුවත් සේවය වාර්තා කළ පරිදි ඊයේ (9) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන ඉන්දීය රුපියල් ප්‍රමාණය 74.23ක් දක්වා ඉහළ ගියේය.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS