ව්‍යාජ ගුවන් ගමන් බලපත් සැකසූ ලාංකිකයා අත්අඩංගුවේ !



ඉන්දියාවේ සිට මැදපෙරදිග සහ බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවලට නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීම සඳහා ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීමේ ජාවාරමක නිරත ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේ මැන්ගලෝර් ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ පළවන ඩී.එන්.ඒ පුවත් සේවය වාර්තා කර සිටී.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දේව කුමාරන් නැමැති ශ්‍රී ලාංකිකයෙකි.ඉකුත් සෙනසුරාදා ඉන්දීය පොලීසිය විසින්  දියත්  කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව  මොහුව අත්අඩංගුවට ගනු ලැබූ බවද එම පුවත් සේවා වාර්තා වල සඳහන් වේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ඉන්දීය පොලීසිය විසින්   ඉකුත් මාර්තු මාසයේ සිට විශේෂ පරීක්ෂණ දියත් කර තිබූ අතර එම මාසයේදී මෙම ව්‍යාජ විදෙස් ගමන් බලපත් සෑදීමේ ජාවාරමේ නිරත ව සිටි ලාංකිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.එම සැකකාර ලාංකිකයින්ගෙන හෙළි කර ගත් කරුණු අනුව මෙම අනෙක් ලාංකිකයා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ව්‍යාජ ගමන් බලපත්‍ර  සකසා නීතිවිරෝධි ලෙස පුද්ගලයන් බ්‍රිතාන්‍යයට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මොහු සම්බන්ධතා පවත්වා ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ව්‍යාජ ගමන් බලපත්‍ර ජාවාරම් සිද්ධියට අදාළව මේ වනවිට ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු සහ  බ්‍රිතාන්‍ය ජාතිකයින් සිව්දෙනෙකු ඉන්දීය පොලිස් අත්අඩංගුවේ පසුවෙති.

 ( තිළිණි  ද සිල්වා )


RECOMMEND POSTS