ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කරලා




තමිල්නාඩුවේ සිට  ශ්‍රී ලාංකිකයින් සදහා ව්‍යාජ ගුවන් බලපත්‍ර සකස් කරදීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය  ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය පසුගිය දා වාර්තා කළේය.

මෙම ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසියට ලැබුණු ඔත්තුවක් අනුව පූසාල් ප්‍රදේශයේදී කළ වැටලීමකදී මෙම ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට පත් වී ඇත.

මොවුන් දෙදෙනාට සහාය දුන් තවත් පුද්ගලයෙකුද ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සිදුකළ මෙම වැටලීමේ දී ඉන්දීය විදෙස් ගමන් බලපත්ර  77ක්ද ශ්‍රී ලාංකික විදෙස් ගමන් බලපත්රත  12ක් සහ ඒවා සකස් කිරීම සදහා යොදාගත් උපකරණ මෙන්ම මුදල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවද එම ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම සැකකරුවන් විසින් ලාංකිකයින්ට ඉන්දියානුවන් ලෙස විදෙස් රටවලට යාමට හැකිවන පරිදි අදාළ ගුවන් බලපත්‍ර සකස් කිරීම සිදුකර ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකු මීට පෙර ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු බව සදහන් වේ.

අත්අඩංගුවට ගත් ලාංකිකයින්  දෙදෙනා විසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 10ක මුදලකට එම විදෙස් ගමන් බලපත්‍ර සකස් කෙරෙන බවද එම ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් වාර්තාවේ දැක්වේ.

මෙම සැකකාර ලාංකිකයින් දෙදෙනාද සංචාරක වීසා මත තමිල්නාඩුවට පැමිණ එම ව්‍යාජ ගුවන් බල බලපත්‍රයකින් විදෙස් ගත වීමට නිවසක රැදි සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවද  එහි සඳහන් වේ.

මෙම ජාවාරම ශ්‍රී ලංකාවේ රැදි සිටින තවත් පිරිසකගේ සහයෝගයෙන් ක්‍රියාත්මක වී ඇති බවට ද ඉන්දීය පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ අතර මුදල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් තවත්  ලාංකිකයෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලවාලසායි ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS