ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්න



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන ලෙසත්, ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙසත් ව්‍යවස්ථානුකූල ආයතනවලට සහ මාධ්‍ය නිදහසට ගරු කරන ලෙසත් ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවවලින් ඉල්ලා සිටින බව කොළඹ පිහිටි යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ යුරෝපා සංගමයේ මෙහෙයුම් ප්‍රධානීන්ගේ එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත ආයතනය එම නිවේදනය නිකුත් කර ඇත.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති සහ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන් සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා යන පිරිසගේ එකඟතාව මත එම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“ යුරෝපා සංගමයේ තානාපති, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන් සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සිදුවෙමින් ඇති සිදුවීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන ලෙසත්, ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙසත් නෛතික ක්‍රමවේදයට අනුව කටයුතු කරන ලෙසත් ව්‍යවස්ථානුකූල ආයතනවලට සහ මාධ්‍ය නිදහසට ගරු කරන ලෙසත් අපි සියලු පාර්ශවවලින් මහත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා”.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවවලින් ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් එරට දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත. එම ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

“ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා. ප්‍රචණ්ඩත්වයෙන් වැළැකී, නීත්‍යනුකූලව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා රජය මානව හිමිකම් පිළිබඳ ජීනිවා ප්‍රඥප්ති, ප්‍රතිසංස්කරණ, වගවීම, නීතිය සහ යුක්තිය සහ සංහිඳියාව (ප්‍රතිසන්ධානය) සුරක්ෂිත කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS