වසරේ කාන්තාව ලෙස විදේශ ඇමැතිනියට සම්මාන



කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඉකුත් 14 දා පැවති 2017 වෘත්තියවේදී කාන්තාවන් අතර ඉහළම මට්ටමේ පනස් දෙනා සඳහා  සම්මාන පිදීමේ උළෙලේදී වසරේ කාන්තාව ලෙස රන් සම්මානය විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට හිමිවිය.

මෙහිදී විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් සිදුකළ සේවාවන්, දේශපාලනික වශයෙන් එතුමිය ලබාගත් ජයග්‍රහණයන් හා සිදුකළ සුවිශේෂි දායකත්වය වෙනුවෙන් (ඉන්ටනැෂනල් ෆයිනෑන්ස් කෝපරේටින්) ආයතනය විසින් හා විමෙන් ඉන් මැනේජ්මන්ට් ආයතනය විසින් මෙම සම්මානය පිරිනමන ලදී.

සිය සොහොයුරා වන දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ අභාවයෙන් පසු 2004 වසරේ දේශපාලනයට පිවිසි තලතා අතුකෝරළ මහත්මිය එතැන් පටන් පැවති පාර්ලිමේන්තු මැතිවරණවලදී නොකඩවා රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පළමුවැනියා ලෙස වැඩිම මනාප ලබා ගත්තාය.

එසේම 2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරිපත් වූ කාන්තා අපේක්‍ෂිකාවන් අතරින් මනාප 144960 ක් ලබා ගනිමින් පළමු ස්ථානය හිමිකර ගන්නා ලදී.

2015 වසරේ විදේශ රැකියා අමාත්‍ය ධූරයේ වගකීම භාරගත් අතුකෝරළ මහත්මිය, විදේශ රැකියාවල නිරතවන ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් විශේෂ සුභසාධන වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇත.

එසේම 2016 වසරේ විගමණික ශ්‍රමිකයින් සපයන රටවල් හා ශ්‍රමිකයින් ලබාගන්නා රටවල් අතර පැවති කොළඹ ක්‍රියාදාමය සමුළුවේ වසර 2ක් සඳහා සභාපති ධූරයට තේරී පත්විය. එසේම 2017 වසරේ ජනවාරි මාසයේ පැවති අබුඩාබි සංවාදය සමුළුවේ සභාපති ධූරයට අමාත්‍යතුමියට හිමිවිය. 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS