වගකීම එකිනෙකා වෙත පැවරීමට උත්සාහ ගන්නවා



පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සත්‍ය වසන් කරන අතර එහි වගකීම එකිනෙකා වෙත පැවරීමට උත්සාහ ගන්නා බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඉතාලියේ රෝම නගරයේදී ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීමට රෝමයට ගොස් සිටින කාදිනල්තුමා පාස්කු දින ප්‍රහාරයේ දර්ශන ඇතුළත් වීඩියෝවක්ද පාප්වහන්සේට ලබාදී ඇතැයි ද රොයිටර් වාර්තාවේ සඳහන් වේ.
කාදිනල්තුමා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස විවේචනය කළ බවද එහි සඳහන් වේ.

පාස්කු දා ප්‍රහාරයක් සිදුවන බවට ලැබුණු බුද්ධි තොරතුරු නොසලකා හැරියේ මන්දැයි සොයා බැලීමට කිසිවකු උනන්දු නොවන බවද එහිදී කාදිනල්තුමා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුවට කිසිදු වගකීමක් නැහැ. එය බරපතළ තත්ත්වයක්. දැන් විවිධ කමිටු පත් කරලා කොමිසම් පත්කරලා. හැමෝම එකිනෙකාට චෝදනා එල්ල කරගන්නවා. කවුරුත් වගකීමක් ගන්නේ නැහැ. එහෙත් කවුද වගකීම ගන්න ඕනේ කියලා මම දන්නවා.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වන බවට ඉන්දීය බුද්ධි අංශ මුලින්ම දැනුම් දුන්නේ අප්‍රේල් 4 වැනිදා. ඉන්පසුව අවස්ථා කිහිපයකදීත් ප්‍රහාර එල්ල වූ දිනයේ උදෑසන 6.45 ටත් දුරකථන ඇමතුමක් දෙමින් එම තොරතුරු සනාථ කරලා තියෙනවා.

කවුරුවත් ඒ බුද්ධි තොරතුරු ගැන සිතුවේ නැහැ. කිසිම කෙනෙක් ඒ තොරතුරු සැලකිල්ලට ගත්තේ නැහැ. මේ ව්‍යසනය වළක්වා ගන්න තිබුණා. මට මේ තොරතුරු කලින් ලැබුණා නම් මම පල්ලි වහලා දාලා මිනිස්සුන්ට ගෙදර යන්න කියනවා.

හැමෝම අනෙක් අයට බනිනවා. එකිනෙකාට චෝදනා කරගන්නවා. තොරතුරු සඟවන්න උත්සාහයක් තියෙනවා. ජනාධිපතිවරයාගේ වගකීම් සහගත බව ගැන උනත් ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් සියලු දෙනා මෙය සඟවන්න උත්සාහ කරනවා. එම නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ උනන්දුවක් නැති බවයි පෙනෙන්නේ. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන අනෙකුත් ආයතනවලත් මේ ගැන හොයන්න උනන්දුවක් නෑ වගේ යැයිද කාදිනල්තුමන් එහිදී ප්‍රකාශ කළ බවද රොයිටර් වාර්තාවේ සඳහන් වේ.


RECOMMEND POSTS