ලාංකිකයන් ගැන කුවේටයේ පැහැදීමක්



ශ්‍රී ලාංකිකයින් සඳහා කුවේටයේ හොඳ රැකියා අවස්ථා පවතින අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව එරට සේවා යෝජකයින්ගේ දැඩි විශ්වාසයක් පවතින්නේ යැයි කුවේට්හි කවුන්සලර් කටයුතු භාර සහකාර විදේශ කටයුතු අමාත්‍ය සම් අබ්දුල්ලාසිස් අහමඞ් අල්හමාඞ් මහතා ප්‍රකාශ කළේය.

ලාංකිකයින්ගේ විශ්වාසනීය බව හා ගුණගරුක බව ඉතා ප්‍රශංසනීය බවද හෙතෙම සඳහන් කළේය.

කුවේටයේ කවුන්සලර් කටයුතු පිළිබඳ සහකාර විදේශ කටයුතු අමාත්‍ය සම් අබ්දුල්ලාසිස් අහමඞ් අල්හමාඞ් මහතා හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා විදේශ රැකියා අමාත්‍යංශයේදී පැවැති අවස්ථාවේ දී මෙම අදහස් පළ කෙරිණි.

මෙහිදී කුවේට් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර, ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සිය රජය කටයුතු කරන බව සහකාර විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.  මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, කුවේට් රාජ්‍ය එරට වෙසෙන ලාංකිකයින්ට ලබාදෙන සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය සතුටු වන බවත්, ඉදිරියටත් මෙරට රජය කුවේටයේ සහයෝගය බලාපොරොත්තු වන බවත් සඳහන් කළාය. එසේම කුවේටයේ ගෘහ සේවිකාවන්ට අමතරව වෙනත් රැකියා අවස්ථා වැඩිවශයෙන් ලාංකිකයින් වෙනුවෙන් ලබා දෙන ලෙසත් අමාත්‍යතුමිය මෙහිදී ඉල්ලීම් කළාය. එසේම කුවේටයේ වැඩි රැකියා අවස්ථා පවතින පුහුණු ශ්‍රමිකයින් වෙනුවෙන් අවශ්‍ය කරන පුහුණුව ලබාදීමට කාර්යාංශය අවශ්‍ය කටයුතු සිදුකරන බවත් සඳහන් කලාය.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජි.ස්.විතානගේ, කුවේට්හි ශ්‍රි ලංකා තානාපති, අමාත්‍යංශයේ උපදේශිකා පද්මිණි රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය. මේ වන විට කුවේට් රාජ්‍යයේ ශ්‍රමිකයින් 96000කට ආසන්න පිරිසක් සේවය කරන අතර කුවේටයේ සුරක්‍ෂා නිවාස වල සිටි ලාංකික ශ්‍රමිකයින් 1943 දෙනෙකු පසුගිය වසරේදී දිවයිනට ගෙන්වා ගෙන තිබේ. එසේම මේ වන විට ශ්‍රමිකයින් 133 දෙනෙකු මෙරටට පැමිණිම සඳහා කුවේට් සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටිති.

විනීතා එම් ගමගේ

 

 


RECOMMEND POSTS