ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඉන්දියාවට



සෞදි අරාබියේ දී මියගිය ඉන්දියානු ජාතිකයෙකුගේ මළ සිරුරක් වෙනුවට ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඉන්දියාවට යවා ඇති පුවතක් ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කළේය.

අදාළ ලාංකික කාන්තාවගේ මළ සිරුර සෞදි අරාබියේ සිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙහි කොචි නගරය වෙත ඒවා ඇති අතර එතැන් සිට කිලෝමීටර 90ක් දුරින් පිහිටා ඇති රාෆික් නැමැති ඉන්දියානු මරණකරුගේ නිවැසියන් වෙත යවා ඇති බව එම පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් විණි.

නිවැසියන් විසින් මෘත ශරීරය විවෘත කර බැලීමේදී ශරීරය මියගිය පුද්ගලයාගේ නොවන බව හඳුනාගෙන ඇති අතර පසුව පොලීසියට මේ බව දැනුම් දී ඇත.

මේ වන විට අදාළ කාන්තා මළ සිරුර කොචි හි කොට්ටායම් වෛද්‍ය විද්‍යාලයේ  මෘත ශරීරාගාරය වෙත යවා ඇති අතර සිරුර නැවත සෞදි අරාබිය වෙත යැවීම සඳහා කටයුතු සූදානම් කරන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS