ලාංකික කතක් නිව්යෝක්හීදි මරුට



අමෙරිකාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් නිව්යෝක් නුවරදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර අැත.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගීතා හොවී නැමැති හැටතුන් හැවිරිදි කාන්තවකි.

සේවා ස්ථානයේ සිට නිවස බලා යමින් සිටි  මෙම කාන්තාව ඇගේ නිවස ආසන්නයේදීම මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව එරට එන්බීසී පුවත් සේවය වාර්තා කළේය.

එම අවස්ථාවේදී ඇයව බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූ පුද්ගලයෙකුටද ඝාතකයා විසින් පිහි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඉන් තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

නිවස බලා යන අතරතුර ඇය විසින් බැංකුවකින් කිසියම් මුදලක් ලබාගෙන ඇති බැවින් ඝාතනයට ලක්වූ කාන්තාවගේ ඥාතීන් විශ්වාස කරන්නේ සොරකම් කිරීමේ තැතක් වැරදී යාමෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවය.

ඝාතනයට ලක්වු ගීතා හොවි නැමති 63 හැවිරිදි කාන්තාව ඇයගේ මෙරට සිටින ඥාතියෙකුගේ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බවද වාර්තා වේ.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS